ගෘහපතිය, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය වෙයි. යමක් අනිත්‍ය වේ නම් එ දුඃඛ වෙයි. යමක් දුඃඛවේ නම්, ගෘහපතිය, තෝ එයට ම ඇලුනෙහි, ගෘහපතිය, තෝ එයට ම බටුයෙහියි.
වහන්ස, යම් කිසිවක් භූත, සංස්කෘත, කල්පිත, ප්‍රතීත්‍යසමුත්පන්න වේ නම්, එ අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, ඒ දුක් වෙයි. යමක් දුක් වේ නම් එය ‘තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙම්, තෙල මාගේ ආත්ම නො වෙයි. මෙසේ තෙල සම්‍යක් ප්‍රඥායෙන් මා විසින් මොනොවට දක්නා ලදී. එයට ද මතුයෙහි යථාභූතකොට නිඃසරණය දන්මි’යි. මෙසේ කී කල්හි එ පරිව්‍රාජකයෝ තුෂ්ණීභූත වූවාහු දොම්නස් ඇතියහු යට හෙලූ කඳ ට ඇත්තාහු යටහෙලූ මුව ඇත්තාහු සිතිවිලි සිතන්නාහු ප්‍රතිභාන රහිත වැ හුන්හ.
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙම එ පිරිවැජියන් තුෂ්ණීම්භූතයහු උපන් දොම්නස් ඇතියහු බහාගත් කඳට ඇතියහු යටහෙලූ මුව ඇතියහු සිතිවිලි පර වූවහු ප්‍රතිභාන රහිත වූවහු දැන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපති තෙම ඒ අන්තොටු පිරිවැජියන් හා සමග යම් පමණ වූ කථාසංලාපයෙක් වී නම්, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළේ ය.
ගැහැවිය මැනැවි, මැනැවි. ගැහැවිය, මෙසේ ම ඒ මෝඝ පුරුෂයෝ කලින් කල සකරුණෙන් සුනිගෘහිත කොට නිගැනියයුත්තාහ යි. ඉක්බිති භාග්‍යවතුන් අනාථපිණ්ඩිකගෘහපතීහු දැහැමි කථායෙන් සන්‍දර්‍ශන කරවූහ, සමාදන් කරවූහ, මොනොවට ඔද ගැන්වූහ, සුපහන් කරවූහ. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදපිත වූයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ මොනොවට වැඳ පැදකුණු කොට නැඟී ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියා නික්මගිය නො බෝකල් ඇති වත් ම භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙ දහම් විනයෙහි උපසපුයෙන් සියක්වස් ගිය මහණෙක් වේ නම්, අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ඔහු යම් පරිද්දෙන් නිගෘහීත වෙත් නම්, හෙද මෙ පරිද්දෙන් ම සකරුණෙන් අන්තොටු පිරිවැජියන් නිගන්නේ”යි.
10. 2. 5. 4.
වජ්ජියමාහිත සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ‘ගග්ගරා’ නම් පොකුණු තෙර වැඩ වසන සේක. එකල්හි වජ්ජියමාහිත නම් ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා චම්පා නුවරින් මහ දවල්හි නික්මියේ ය. එකල්හි වජ්ජියමාන ගෘහපතියහට තෙල සිත විය: “භාග්‍යවතුන් වහන්සේ දක්නට තවම නො කලි. භාග්‍යවතුන් වහන්සේ පිළිසලනෙහි හුන්හ. මනෝභාවනීය භික්‍ෂූනුදු දක්නට නො කලි, මනෝභාවනායෙහි ඇලුණු භික්‍ෂූහු පිළිසලනෙහි යෙදුණහ. ඉදින් මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුවට යෙම් නම් මැනැවැ”යි.
ඉක්බිති වජ්ජියමාහිත ගෘහපති අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුවට එළඹියේ ය. එකල්හි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ එක් රැස්ව ඔල්වරසන් ඇත්තාහු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු නන් වැදෑරුම් තිරිසන්ගිය කථා කියමින් හුන්නාහු වෙත්.
ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වජ්ජියමාහිත ගෘහපතීහු එනු දුරදීම දුටහ. දුරදී ම එන්නහු දැක උනුන් පිහිටවූහ (නවතාලූහ) “භවත්හු නිහඬ වෙත් වා, භවත්හු නහමක් ශබ්ද කෙරෙත්වා. ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වජ්ජියමාහිත ගෘහපති එයි. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ සුදුවත් හඳනා යම් පමණ ගිහිහු චම්පායෙහි වසත් ද, මේ වජ්ජියමාහිත ගෘහපති ඔවුන්ගෙන් අන්‍යතරයෙක් වෙයි. අල්පශබ්ද කැමැති ඒ භවත් හු අල්පශබ්ද ඇතියහු (මහණ ගොයුම්හු) විසින් විනීත වූවාහු අල්පශබ්දයාගේ වර්‍ණ කියන්නාහු නිහඬ පිරිසැ යි දැන එළඹිය යුතු කොට හඟනේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තූෂ්ණීම්භූත වූහ. එකල්හි වජ්ජියමාහිත ගැහැවි එ පිරිවැජියන් කරා එළැඹියේ ය. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වජ්ජියමාහිත ගෘහපතිහට ඒ පිරිවැජියෝ තෙල කරුණ කීහ:
ගෘහපතිය, මහණ ගොයුම් හැම තපසක් (දුෂ්කර ක්‍රියාවක්) ගරහන්නේ ය, රූක්‍ෂාජීව ඇති දුෂ්කර තවුස් දම් රක්නා හැමට එකැතින් උපක්‍රෝශ කරන්නේ ය. උපවාද කරන්නේ ය යනු සැබෑවෙක් දැයි?”