10. 2. 5. 2.
භය සූත්‍රය
(සැවැත්)
එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
ගෘහපතිය, යම් හෙයෙකින් අරී සවුහුගේ පඤ්ච චිත්තෝ ත්‍රාසභයයෝ අකුශල වෛරයෝ මොනොවට සන්හුන් වෙත් ද, සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේ ද, ඔහු විසින් ආර්‍ය්‍ය (විදර්‍ශනා මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායය ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දේ, සුපිළි විදියේ වේ ද, කැමැති වනුයේ තෙමේ තමා පහළ කරන්නේ ය:
“ක්‍ෂය වී ගිය නිරෑ ඇතියෙම් ක්‍ෂය වී ගිය තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වී ගිය ප්‍රේතවිෂය ඇතියෙම්, ක්‍ෂය වී ගිය අවාදුගති විනිපා ඇතියෙම් වෙමි. විනිපාතස්වාභාව නැතියෙම් නියතයෙම් සම්බෝධිය පරායණ කොට ඇතියෙම් ශ්‍රෝතාපන්න යෙමි”යි. කවර පඤ්චභය වෛරයෝ සන්හුන්නාහු වෙත් ය යත්:
ගෘහපතිය, පණිවා කරණ සුලුවූයේ පණිවා හේතුකොටගෙන දෘෂ්ට ධාර්මික වූ ද යම් භය හා වෛර හා ලබා ද, සාම්පරායික වූ ද භය හා වෛර ලබා ද, චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ ද, පණිවායෙන් විරත වූයේ එ දෘෂ්ට ධාර්මික වූ භය වෛර නො ම ලබන්නේ ය. සාම්පරායික භය වෛර නො ම ලබන්නේ ය, චෛතසික දුඃඛදෞර්‍මනස්‍ය නො ම විඳිනේය. මෙසේ ප්‍රාණඝාතයෙන් වෙන්වූවහුගේ එ බිය හා වෙර හා සංහිඳුනේ වෙයි.
ගෘහපතිය, නුදුන්දෑගන්නා සුලුවූයේ -පෙ- කාමයන්හි මිසහසර ඇතියේ - මුසවා බණනසුලුවූයේ යම් - ගෘහපතිය, මදපමා දෙකට කරුණුවූ රහමෙර බොන සුලුයේ මදපමා දෙකට කරුණුවූ රහමෙර හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික වූ ද භය හා වෛර හා ලබා නම් සාම්පරායික වු ද භය හා වෛර හා ලබා නම් චෛතසික වූ ද දුක් දොම්නස් විඳිනේ නම් මදපමා දෙකට කරුණු රහමෙරින් විරත වූයේ දෘෂ්ට ධාර්මික වූ ද භය හා වෛර හා නොම ලබනේ ය, සාම්පරායික වූ ද දුක් භය හා වෛර හා නො ම ලබනේ ය, චෛතසික වූ ද දුක් දොම්නස් නො ම විඳුනේය, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් විරතහුගේ මෙසේ එ භය හා වෛර හා සංහිඳුනේ වෙයි. මෙ පස් භය හා වෛර හා ව්‍යුපශාන්ත වෙත්.
කවර නම් සතර සෝවාන් අඟින් සමන්‍වාගත වේය යත්:
ගෘහපතිය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: මෙ කරුණිනුදු එ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්යහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, අනුත්තරයහ, පුරුෂදම්‍ය සාරථිහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ධර්‍මයෙහි අවෙත්‍ය ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයාර්‍හය, විඥයන් විසින් ප්‍රත්‍යාත්ම වශයෙන් දතයුතුය”යි.