10. 2. 4. 9.
කෝකාලික සූත්රය
(සැවැත්)
එසඳ කෝකාලික මහණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් කෝකාලික මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේය. “වහන්ස, සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
කෝකාලික මහණ දෙවනවට ද භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මා හට භාග්යවතුන් වහන්සේ ශ්රද්ධාව එළවත් නමුදු ප්රත්යයික වෙත් නමුදු සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
කෝකාලික මහණ තෙවනවට ද භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මාහට භාග්යවතුන් වහන්සේ ශ්රද්ධාව එළවත් නමුදු ප්රත්යයික වෙත් නමුදු වැලිත් සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
ඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැග භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේය. බැහැර ගිය නොබෝ කල් ඇත්තා වූ ම කෝකාලික මහණ හුගේ හැම කය සර්ෂපමාත්රවූ පොළින් පැතුරුනේ විය. (ඒ පොළ) සර්ෂපමාත්ර ව මුද්ගමාත්ර විය. මුද්ගමාත්රික ව කඩල ඇට පමණැති විය. කඩල ඇට පමණැතිව ඩෙබරැට පමණැති විය. ඩෙබරැට පමණ ව කොල මාත්රික විය. කොල මාත්රික ව ආමලක මාත්රික වූහ. ආමලක මාත්රිකව තරුණ බිල්වඵලමාත්රික විය. තරුණ බිල්වඵලමාත්රික ව බිල්ව මාත්රික විය. බිල්ව මාත්රික ව බිඳිණ. පූයි හා ලේ වගුලේ ය, හේ විසගිලි මස්සකු සෙයින් කේල්පත්හි හෝනේ ය.
එකල්හි තුදු පච්චේකබ්රහ්ම කෝකාලික කරා එළැඹියේ ය. එළැඹ අහස්හි සිට කෝකාලික මහණ හට තෙල කීය: “කොකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
ඇවැත්නි, තෝ කවරෙක් වෙහි යි?
“මම් තුදු පච්චේකබ්රහ්ම වෙමි”යි
ඇවැත්නි, තෝ භාග්යවතුන් වහන්සේ විසින් අනාගාමී ව්යාකෘත නො වෙහි ද? වැලි දැන් කවර හෙයින් මෙහි ආයෙහි දැයි. යම්තාක් මෙය තාගේ අපරාධය වේ ද ඒ තාක් දකුව”යි.
එසඳ තුදු පච්චේකබ්රහ්ම කෝකාලික මහණ හට ගාථායෙන් කීය:
1. බාලතෙම දුබැසිබණන්නේ යම් පරොස් බස් සඞ්ඛ්යාත අවියෙකින් තමා සිඳුනේ නම්, උපන් පුරුෂයාගේ මුවෙහි පරොස් බස් නමැති කූඨාරිය උපදනේ මැයි.
2. යමෙක් නින්දාර්හයා පසස්නේ ද යමෙක් ප්රශංසාර්හ වේනම් ඔහුට හෝ නින්දා කරණේ ද, හේ මුවින් අපරාධ රැස්කරණේ ද, ඒ අපරාධයෙන් සුව නො විඳුනේ ය.