4. ථේර වර්‍ගය
10. 2. 4. 1.
බාහුන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් තථාගතයන් වහන්සේ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු ක්ලේශමර්‍ය්‍යාදාව බිඳලූ සිතින් වසන සේක් දැ යි?
බාහුනයෙනි, දශ දහමකින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු කෙලෙස් කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙති. කවර දසයෙකින් යත්: බාහුනය, තථාගතයෝ රූපයෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙත්. බාහුනයෙනි, වේදනායෙන් ... බාහුනයෙනි, සංඥායෙන් ... බාහුනයෙනි, සංස්කාරයන්ගෙන් ... බාහුනයෙනි, විඥානයෙන් ... බාහුනයෙනි, ජාතියෙන් ... බාහුනයෙනි, ජරායෙන් ... බාහුනයෙනි, මරණයෙන් ... බාහුනයෙනි, දුඃඛයෙන් ... බාහුනයෙනි, ක්ලේශයන්ගෙන් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳි සිතින් වෙසෙත්.
බාහුනයෙනි, යම් පරිද්දකින් උපුලක් වේවයි, පියුමක් වේවයි, පඬෙරක් වේවයි දියෙහි උපනේ, දියෙහි වැඩුනේ, දියෙන් නැගී දිය හා නො ගැටුනේ සිටුනේ ද, බාහුනයෙනි, එ පරිදි ම මේ දස දහමින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බිඳ ලූ කෙලෙස් මියර ඇති සිතින් වාස කරත් හ යි.
10. 2. 4. 2.
ආනන්‍ද සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් ශ්‍රද්ධා නැතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
2. ආනන්‍දයෙනි, එ මහණ එකැතින් දුසිල් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
3. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අල්පශ්‍රැත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
4. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් දුර්වච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
5. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පවිටු මිතුරන් ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
6. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් කුසීත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
7. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මුළාසිහි ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
8. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් අසන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
9. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් පාපේච්ඡ වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
10. ආනන්‍දයෙනි, එ මහණ එකැතියෙන් මිථ්‍යාදෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.