10. 2. 4. 10.
ඛීණාසවබල සූත්‍රය
[සැවැත්]
එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “ශාරිපුත්‍රයෙනි, යම් බලයන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, ක්‍ෂීණාස්‍ර මහණහුගේ එබඳු බල කෙතෙකැ?”යි.
වහන්ස, යම්බඳු බලකෙනෙකුන්ගෙන් සමන්‍වාගත ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම් ක්‍ෂීණාස්‍රව මහණහුගේ එබඳු බල දස දෙනෙක.
කවර දස දෙනෙකයත්:
1. වහන්ස, මෙ සස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් සුදෘෂ්ට වෙත්.
වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් සර්‍වසංස්කාරයෝ අනිත්‍ය විසින් ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදහ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි පිළිදන්නේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ බලයෙක.
2. තවද වහන්ස, අනෙකෙකි. ක්‍ෂීණාස්‍ර භික්‍ෂූහු විසින් කාමයෝ අඞ්ගාරකාසූපමයහ’යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ. වහන්ස ක්‍ෂීණාස්‍රව මහණහු විසින් කාමයෝ “අඞ්ගාරකාසූපමයහ”යි ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දන්නා ලදහ යන යමෙක් ඇත්නම්, වහන්ස, යම් බලයකට පැමිණ ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ප්‍රතිඥා කෙරේ නම්, මෙ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
3. තවද වහන්ස, අනෙකෙකි; ක්‍ෂීණාස්‍ර භික්‍ෂුහුගේ සිත සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවස්ථානීය ධර්‍මයන්ගෙන් වාන්තවූයේ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ (ඵල සමාපත්තිවශයෙන්) නිර්‍වාණ විවේකයට නැඹුරු වූයේ විවේකප්‍රවණ වූයේ විවේකප්‍රාග්භාර වූයේ වෙයි. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ චිත්තය ආස්‍රවයනට කරුණු වූ ක්ලේශ දර්‍ඹයන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් විගතාන්ත වූයේ නෛෂ්ක්‍රම්‍යාභිරහිත වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ විවෙක නිම්න වූයේ විවේකප්‍රවණවූයේ විවෙකප්‍රාග්භාරවූයේ වෙයි’ යන යමෙක් ඇත් ද, වහන්ස, යම් බලයකට පැමිණ රහත් පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම්, වහන්ස, මේ ද රහත් මහණහුගේ බලයෙක.
4. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සීවටන්හු බැවුනාහු මොනොවට බැවුනාහු වෙත්. වහන්ස, ‘ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහු විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද, මොනොවට වඩන ලදහ’ යන යමෙක් ඇත්ද, යම් බලයකට පැමිණ රහත් මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, වහන්ස, මේ ද ක්‍ෂීණාස්‍රව භික්‍ෂුහුගේ බලයෙක.
5-10. තවද වහන්ස, අනෙකකි. ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිත සුභාවිත වෙති -පෙ- සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්චේන්‍ද්‍රියෝ භාවිත සුභාවිත වෙති -පෙ- පඤ්ච බලහු භාවිත සුභාවිත වෙති -පෙ- සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙත්. -පෙ- ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවිත සුභාවිත වේ. වහන්ස, ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු විසින් අරීඅටඟිමඟ බැවිණ, මොනොවට බැවිණ යන යමෙක් ඇත් ද, වහන්ස, රහත් මහණ යම් බලයකට පැමිණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂය පිළිදන්නේ නම්, මෙ ද රහත් මහණුගේ බලයෙකි.
වහන්ස, යම් බල කෙනෙකුගෙන් සමන්‍වාගත රහත් මහණ ‘මා විසින් ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවයන්ගේ ක්‍ෂයය ප්‍රතිඥා කෙරේ නම් ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුගේ මේ ඒ දස බලයි.
සතර වැනි ථේර වර්‍ග යි.
එහි උද්දානය:
බාහුනය, ආනන්‍දය, පුණ්ණිය, බ්‍යාකරණය, කත්‍ථිය, අඤ්ඤාය, අධිකරණය, කෝකාලිකය, බල සූත්‍ර දැයි දසයෙකි.