10. 2. 4. 4.
බ්‍යාකරණ සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ හ. “ඇවැත්නි”යි ඒ මහණහු ආයුෂ්මත් මහමුගලන් තෙරුනට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, සිවුමඟ කරණ ලද, මෙ බව පිණිස අනෙකක් නැතියි දන්මි”යි අර්‍හත්‍වය පවසයි. තථාගත වේවයි සමාපත්ති කුසලවූ පරසිත් දැන්මෙහි කුසල වූ පරචිත්තපර්‍ය්‍යායයෙහි කුසල වූ තථාගත ශ්‍රාවක වේවයි ඔහු අනුයෝගවතට නංවයි, සමනුගාහනා කරයි. ලබ්ධියෙහි පිහිටු වයි. සමනුභාසනා කරයි, කරුණු විචාරයි. හේ තථාගතයන් විසින් වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෛහි කුසල තථාගත ශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගවතට නංවන ලදුයේ සමනුග්‍රාහ කරනු ලබන්නේ සමනුභාසනා කරනු ලබන්නේ සිස් බවට පැමිණෙයි. නිර්ගුණභාවයට පැමිණෙයි, හානියට පැමිණෙයි, වනසට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණේ.
තථාගත වේවයි දැහැන් ඇති සමවත්හි දක්‍ෂ වූ පරසිත් දැනුම්හි දක්‍ෂ වු පරචිත්තපර්‍ය්‍යාය කුසල වු තථාගතශ්‍රාවක වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි.
“කවර කරුණකින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්‍ෂීණය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද ය, කරණී කරන ලද ය, මෙ බව පිණිස අන් කටයුතු නැතැ යි දන්මි’යි අර්‍හත්‍වය පවසාදැ”යි.
1. තථාගත වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි දක්‍ෂ පරචිත්තයෙහි දක්‍ෂ පරචිත්තපර්‍ය්‍යායෙහි දක්‍ෂ තථාගතශ්‍රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය: “මේ ආයුෂ්මත් ක්‍රෝධ ඇතියේ ක්‍රෝධයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ක්‍රෝධ පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
2. මේ ආයුෂ්මත් බද්ධවෛර ඇතියේ බද්ධවෛරයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල උපනාහර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
3. මේ ආයුෂ්මත් මකුගුණ ඇතියේ මකුගුණයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මකු ගුණ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
4. මේ ආයුෂ්මත් යුගග්‍රාහ ඇතියේ යුගග්‍රාහයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල යුගග්‍රාහයාගේ නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
5. මේ ආයුෂ්මත් ඊර්‍ෂ්‍යා ඇතියේ ඊර්‍ෂ්‍යාවෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ඊර්‍ෂ්‍යා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
6. මේ ආයුෂ්මත් මසුරුබැව් ඇතියේ මාත්සර්‍ය්‍යයෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මාත්සර්‍ය්‍යපර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
7. මේ ආයුෂ්මත් ශඨ වූයේ ම ශඨ බැවින් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල ශඨ බැව් නැගීම වනාහි තථාගතප්‍රවිදිත ධර්‍ම විනයෙහි පිරිහිනෙක.
8. මේ ආයුෂ්මත් මායා ඇතියේ මායායෙන් මැඩුණු සිතින් බොහෝ සේ වෙසෙයි. තෙල මායා පර්‍ය්‍යුත්‍ථානය වනාහි තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි පිරිහිනෙක.