10. 2. 3. 7.
කාක සූත්‍රය
[සැවැත්]
මහණෙනි, කවුඩු දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී (ගුණ නසන්නේ) ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, නිෂ්කාරුණික වෙයි, දුර්‍වල ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, කවුඩු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ.
මහණෙනි, එ පරිදි ම ලමු මහණ දශ අසද්ධර්‍මයෙකින් සමන්‍වාගත වෙයි. කවර දසයෙකින යත්: ධංසී ද වෙයි, ප්‍රගල්භ ද වෙයි, ආසඞ්කා බහුල ද වෙයි, මහග්ඝස (මහත්කොට බුදිනේ) ද වෙයි, දරුණු ද වෙයි, අකාරුණික ද වෙයි, ලමුහඬ ඇතියේ ද වෙයි, මුළාසිහි ඇතියේ ද වෙයි, රැස්කරණුයේ ද වේ. මහණෙනි, ලමුමහණ මේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ යි.
10. 2. 3. 8.
නිගණ්ඨ සූත්‍රය
[සැවැත්]
මහණෙනි, නිගණ්ඨයෝ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහ. කවර දසයෙකිනයත්: මහණෙනි, නුවටෝ අශ්‍රද්ධයහ. මහණෙනි, නුවටෝ දුසිල්හ. මහණෙනි, නුවටෝ අහිරිකයහ. මහණෙනි, නුවටෝ ඔතප් නැතියහ. මහණෙනි, නුවටෝ අසත්පුරුෂයන් කෙරෙහි බැති ඇතියහ. මහණෙනි, නුවටහු ආත්මොත්කර්‍ෂක පරවම්භකයහ. මහණෙනි, නුවටහු ස්වදෘෂ්ටිය පරාමර්‍ෂ කොට ඇත්තාහු ස්වදෘෂ්ටිය දෘඪ කොට ගත්තාහු ස්වදෘෂ්ටිය නො දුරැලිය හැක්කාහු වෙති. මහණෙනි, නුවටහු කුහකයහ. මහණෙනි, නුවටහු පාපේච්ඡයහ. මහණෙනි, නුවටහු මිථ්‍යාදෘෂ්ටිකයහ. මහණෙනි, නුවටහු මේ දශ අසද්ධර්‍මයෙන් සමන්‍වාගතයහයි.
10. 2. 3. 9.
ආඝාතවස්තු සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතවස්තු දශයෙක්. කවර දශයෙකයත්: ‘මට අනර්‍ත්‍ථ කෙළේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කෙරේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත බඳනේයි. මාගේ ප්‍රිය මනාපයාට අනර්‍ත්‍ථ කෙළේයි ... අනර්‍ත්‍ථ කෙරේ යි ... අනර්‍ත්‍ථ කරන්නේ යි ... ආඝාත බඳනේය. ‘මාගේ අප්‍රියඅමනාපයාට අර්‍ත්‍ථ කෙළේ’යි .... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරණේයි ආඝාත බඳනේ ය. අස්ථානයෙහිදු කිපෙයි. මහණෙනි, මේ දශ ආඝාත වස්තු යි.
10. 2. 3. 10.
ආඝාත පටිවිනය සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතපටිවිනයෝ දස දෙනෙක. කවර දසදෙනෙක යත්: මට අනර්‍ත්‍ථ කෙළේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කෙරේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්‍ත්‍ථ කරන්නේය, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මාගේ ප්‍රියමනාපයට අනර්‍ත්‍ථ කෙළේය ... අනර්‍ත්‍ථ කරයි ... අනර්‍ත්‍ථ කරන්නේය. එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. අස්ථානයෙහි ද නො කිපෙයි. මහණෙනි, මේ දස ආඝාත පටිවිනයෝ යි.
තෙවැනි ආකඞ්කවර්‍ග යි.
එහි උද්දානය:
ආකඞ්ක සූත්‍රය, කණ්ටක සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, වඩ්ඪී සූත්‍රය, මිගසාලා සූත්‍රය, අහබ්බ සූත්‍රය, කාක සූත්‍රය, නිගණ්ඨ සූත්‍රය, වත්‍ථු සූත්‍ර දෙක දැයි දසයෙකි.