10. 2. 3. 8.
නිගණ්ඨ සූත්රය
[සැවැත්]
මහණෙනි, නිගණ්ඨයෝ දශ අසද්ධර්මයෙන් සමන්වාගතයහ. කවර දසයෙකිනයත්: මහණෙනි, නුවටෝ අශ්රද්ධයහ. මහණෙනි, නුවටෝ දුසිල්හ. මහණෙනි, නුවටෝ අහිරිකයහ. මහණෙනි, නුවටෝ ඔතප් නැතියහ. මහණෙනි, නුවටෝ අසත්පුරුෂයන් කෙරෙහි බැති ඇතියහ. මහණෙනි, නුවටහු ආත්මොත්කර්ෂක පරවම්භකයහ. මහණෙනි, නුවටහු ස්වදෘෂ්ටිය පරාමර්ෂ කොට ඇත්තාහු ස්වදෘෂ්ටිය දෘඪ කොට ගත්තාහු ස්වදෘෂ්ටිය නො දුරැලිය හැක්කාහු වෙති. මහණෙනි, නුවටහු කුහකයහ. මහණෙනි, නුවටහු පාපේච්ඡයහ. මහණෙනි, නුවටහු මිථ්යාදෘෂ්ටිකයහ. මහණෙනි, නුවටහු මේ දශ අසද්ධර්මයෙන් සමන්වාගතයහයි.
10. 2. 3. 9.
ආඝාතවස්තු සූත්රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතවස්තු දශයෙක්. කවර දශයෙකයත්: ‘මට අනර්ත්ථ කෙළේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්ත්ථ කෙරේ’යි ආඝාත බඳනේය. ‘මට අනර්ත්ථ කරන්නේ’යි ආඝාත බඳනේයි. මාගේ ප්රිය මනාපයාට අනර්ත්ථ කෙළේයි ... අනර්ත්ථ කෙරේ යි ... අනර්ත්ථ කරන්නේ යි ... ආඝාත බඳනේය. ‘මාගේ අප්රියඅමනාපයාට අර්ත්ථ කෙළේ’යි .... අර්ත්ථ කෙරෙයි ... අර්ත්ථ කරණේයි ආඝාත බඳනේ ය. අස්ථානයෙහිදු කිපෙයි. මහණෙනි, මේ දශ ආඝාත වස්තු යි.
10. 2. 3. 10.
ආඝාත පටිවිනය සූත්රය
[සැවැත්]
මහණෙනි, මේ ආඝාතපටිවිනයෝ දස දෙනෙක. කවර දසදෙනෙක යත්: මට අනර්ත්ථ කෙළේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්ත්ථ කෙරේ, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මට අනර්ත්ථ කරන්නේය, එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. මාගේ ප්රියමනාපයට අනර්ත්ථ කෙළේය ... අනර්ත්ථ කරයි ... අනර්ත්ථ කරන්නේය. එය මෙහි කොයින් ලැබේ දැයි ආඝාතය දුරලයි. අස්ථානයෙහි ද නො කිපෙයි. මහණෙනි, මේ දස ආඝාත පටිවිනයෝ යි.
තෙවැනි ආකඞ්කවර්ග යි.
එහි උද්දානය:
ආකඞ්ක සූත්රය, කණ්ටක සූත්රය, ඉට්ඨ සූත්රය, වඩ්ඪී සූත්රය, මිගසාලා සූත්රය, අහබ්බ සූත්රය, කාක සූත්රය, නිගණ්ඨ සූත්රය, වත්ථු සූත්ර දෙක දැයි දසයෙකි.
4. ථේර වර්ගය
10. 2. 4. 1.
බාහුන සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, කෙතෙක් ධර්මයන්ගෙන් තථාගතයන් වහන්සේ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්රමුක්ත වූවාහු ක්ලේශමර්ය්යාදාව බිඳලූ සිතින් වසන සේක් දැ යි?
බාහුනයෙනි, දශ දහමකින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු කෙලෙස් කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙති. කවර දසයෙකින් යත්: බාහුනය, තථාගතයෝ රූපයෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳ ලූ සිතින් වෙසෙත්. බාහුනයෙනි, වේදනායෙන් ... බාහුනයෙනි, සංඥායෙන් ... බාහුනයෙනි, සංස්කාරයන්ගෙන් ... බාහුනයෙනි, විඥානයෙන් ... බාහුනයෙනි, ජාතියෙන් ... බාහුනයෙනි, ජරායෙන් ... බාහුනයෙනි, මරණයෙන් ... බාහුනයෙනි, දුඃඛයෙන් ... බාහුනයෙනි, ක්ලේශයන්ගෙන් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්රමුක්ත වූවාහු කෙලෙස් මියර බිඳි සිතින් වෙසෙත්.
බාහුනයෙනි, යම් පරිද්දකින් උපුලක් වේවයි, පියුමක් වේවයි, පඬෙරක් වේවයි දියෙහි උපනේ, දියෙහි වැඩුනේ, දියෙන් නැගී දිය හා නො ගැටුනේ සිටුනේ ද, බාහුනයෙනි, එ පරිදි ම මේ දස දහමින් තථාගතයෝ නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්රමුක්ත වූවාහු බිඳ ලූ කෙලෙස් මියර ඇති සිතින් වාස කරත් හ යි.
10. 2. 4. 2.
ආනන්ද සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: