3. ආකඞ්ඛ වර්ගය
10. 2. 3. 1.
ආකඞ්ඛෙය්ය සූත්රය
එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක: මහණෙනි, සිල්සපන්ව, ප්රාතිමෝක්ෂශීලයෙන් සමන්වාගත ව වාසය කරවු. ආචාර ගෝචරසම්පන්න වූවාහු අණුමාත්ර වරදෙහිදු භය දක්නා සුල්ලහු ප්රාතිමෝක්ෂසංවරයෙන් සංවෘත වූවාහු වාසය කරවු. සමාදන් කොට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවු.
1. මහණෙනි, ඉදින් මහණ “සබ්රම්සරුනට ප්රිය හා මනාප හා ගුරු හා භාවනීය හා වෙම්ව”යි කැමැති වේ නම් අධ්යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ ධ්යාන ඇතියේ විදර්ශනායෙන් සමන්වාගත වූයේ ශූන්යාගාරභාවනාව වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
2. මහණෙනි. ඉදින් මහණ “චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාර ලබන සුලු වෙම් ව”යි කැමැති වේ නම් අධ්යාත්මචිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ සප්තානුදර්ශනයෙන් සමන්වාගත වූයේ ශූන්යාගාරයන් වඩනුයේ ශීලයන්හිම පරිපූරකාරී වන්නේ ය.
3. මහණෙනි. ඉදින් මහණ “මම් යම් කෙනෙකුන්ගේ චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාර වළඳ කෙරෙම් නම් ඔවුන්ගේ ඒ ප්රත්යසත්කාරයෝ මහත්ඵල මහානෘසංස වෙත්ව”යි කැමැති වේ … නම් ශූන්යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
4. මහණෙනි. ඉදින් මහණ “මාගේ යම් ම ඥාතිසාලෝහිත ප්රේත කෙනෙක් කලුරිය කළාහු පහන් සිතැත්තාහු අනුස්මරණ කෙරෙත් නම් ඔවුන්ගේ එය මහත්ඵල මහානෘශංස වේ ව”යි ... ශූන්යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
5. මහණෙනි. ඉදින් මහණ “ඉතෙරතෙර චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙම්ව”යි කැමැති වේනම් නම් ... ශූන්යාගාරයන් වඩනුයේ ශීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
6. මහණෙනි, ඉදින් මහණ ශිත හා උෂ්ණ හා සා හා පවස් හා මැසිමදුරු හා වා අව් හා සරීසාපයන්ගේ ස්පර්ශය ඉවසන සුල්ලෙම් වෙමිවයි නපුරු කොට කියු නපුරු කොට පැමිණි වචනමාර්ගයන් ද උපන් දුක් වූ තීව්රවු රලු වූ කටුක වූ අසාත වූ අමනාප වූ ප්රාණහර වූ ශාරීරිකවේදනාවන් ඉවසන සැහැවි ඇත්තෙම් වෙම්වයි ... ශූන්යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
7. මහණෙනි, ඉදින් මහණ (අභිනිෂ්ක්රමණ ප්රතිපත්තියෙහි) “අරතිය හා කාමගුණයන්හි රතිය හා මැඩ ලන්නෙම් වෙම්ව යි අරතිය හා රතිය ද මා නහමක් මඩීව යි උපන් අරතිය හා රතිය මැඩ - මැඩ වාස කරම්ව”යි කැමැති වේ නම් ... ශූන්යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
8. මහණෙනි, ඉදින් මහණ “චිත්තෝත්රාස හා බිහිසුණු අරමුණු සහන සුල්ලෙම් වෙමිවයි, භයභේරව නහමක් මැඩ යේවයි උපන් භයභේරව මැඩ - මැඩ වාසය කෙරෙම්ව”යි කැමැති වේ නම් ... ශූන්යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
9. මහණෙනි, ඉදින් මහණ “ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම් නිදුක් සේ ලබන්නෙම් පහසු සේ ලබන්නෙම් වෙම්ව”යි ... ශූන්යාගාරයන් වඩනුයේ සීලයන්හි ම පරිපූරකාරී වන්නේ ය.
10. මහණෙනි, ඉදින් මහණ “ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චිත්තවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙම්ව”යි ආධ්යාත්ම චිත්තසමථයෙහි යෙදුණේ නො හළ දැහැන් ඇතියේ විදර්ශනායෙන් සමන්වාගත වූයේ ශූන්යාගාරයන් වඩනුයේ ශීලයන්හි පරිපූරකාරී වන්නේ ය.
මහණෙනි, “සිල්සපන් වූවාහු පාමොක්සපන් වූවාහු වාසය කරවු. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූවාහු ආචාරගෝචර සම්පන්න වූවාහු වාසය කරවු. අණුමාත්රවද්යන්හි භය දක්නා සුල්ලහු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙවු”යයී මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියනලදැ යි.