10. 2. 3. 6.
තයෝධම්ම සූත්‍රය
[සැවැත්]
මහණෙනි, මේ ධර්‍ම තුණක් ලොව විද්‍යමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්:
ජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනි, මෙ දහම් ගුණ ලොව්හි විද්‍යමාන නොවේ නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනාහ. තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනාහ. එහෙයින් තථාගත ප්‍රවිදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත වෙයි.
1. මහණෙනි, මේ ධර්‍ම තුනක් නො පියා (ප්‍රහාණය නො කොට) ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි. කවර තුනෙක යත්: රාගය නො පියා, ද්වේෂය නො පියා, මෝහය නො පියා යි. මහණෙනි, මේ තුන් දහම් නොපියා ජාතිය පියන්නට ජරාව පියන්නට මරණය පියන්නට අභව්‍ය වෙයි.
2. මහණෙනි, මේ දහම් තුන නො පියා රාගය පියන්නට, ද්වේෂය පියන්නට, මෝහය පියන්නට අභව්‍යයි. කවර තුනෙකයත්: සක්කාය දිට්ඨිය නො පියා, විචිකිච්ඡාව නො පියා, සීලබ්බත පරාමාසය නො පියායි. මහණෙනි, මෙතුන් දහම් නො පියා රාගය පියන්නට ද්වේෂය පියන්නට මෝහය පියන්නට අභව්‍ය වෙයි.
3. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: අයෝනිසෝමනසිකාරය නො පියාය, කුමග සෙවුනා නො පියාය, චිත්තයාගේ ලීනත්‍වය නො පියාය. මහණෙනි, මෙ තුන් දහම් නො පියා සක්කාය දිට්ඨිය පියන්නට, විචිකිච්ඡාව පියන්නට, සීලබ්බත පරාමාසය පියන්නට අභව්‍යයි.
4. මහණෙනි, මෙ තුන් දහමුන් නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට, කුමග සෙවුනා පියන්නට, චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: සිහි මුළාව නොපියා, අසම්පජඤ්ඤය නො පියා, චිත්තයාගේ වික්‍ෂේපය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා අයෝනිසෝමනසිකාරය පියන්නට කුම්මග්ගසේවනය පියන්නට චිත්තයාගේ ලීනත්‍වය පියන්නට අභව්‍යයි.
5. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍යයි. කවර තුනෙක යත්: ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව නො පියා, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව නොපියා, උපාරම්භ (චිත්ත පරිභවකරනු කැමැති සිත) නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා මුළා සිහිය පියන්නට, අසම්පජඤ්ඤය පියන්නට, චිත්තවික්‍ෂේපය පියන්නට අභව්‍ය යි.
6. මහණෙනි, මේ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භ චිත්තාව පියන්නට අභව්‍ය යි. කවර තුනෙක යත්: උද්ධච්චය නො පියා, අසංවරය නො පියා, දෞශ්ශීල්‍යය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා ආර්‍ය්‍යයන්ගේ අදර්‍ශනකාම්‍යතාව පියන්නට, ආර්‍ය්‍යධර්‍මයාගේ අශ්‍රෝතුකාම්‍යතාව පියන්නට, උපාරම්භචිත්තාව පියන්නට අභව්‍ය යි.
7. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීලය පියන්නට අභව්‍යයි. කවරතුනෙක යත්: අස්සද්ධිය නො පියා, අවදඤ්ඤුතාව නො පියා (යාචකයන් බස් නො ද න්නා බව) නො පියා, කෝසජ්ජය නො පියා යි. මහණෙනි, මෙ දහම් තුන නො පියා උද්ධච්චය පියන්නට, අසංවරය පියන්නට, දෞශ්ශීල්‍යය පියන්නට අභව්‍යයි.