10. 2. 3. 2.
කණ්ටක සූත්රය
එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවන කූටාගාරශාලායෙහි ආයුෂ්මත් චාලය, ආයුෂ්මත් උපචාලය, ආයුෂ්මත් කක්කටය, ආයුෂ්මත් කටිම්බය, ආයුෂ්මත් කට ය, ආයුෂ්මත් කටිස්සඞ්ගය යන ඉතා ප්රකට ස්ථිවිර ශ්රාවකයන් ද අන්ය වූත් ප්රකට බොහෝ ස්ථිවිර ශ්රාවකයන් ද සමග වාසය කරන සේක:
එකල්හි ඉතා ප්රසිද්ධ බොහෝ ලිච්ඡවීහු උස්හඬ මහහඬ ඇත්තාහු භද්ර භද්ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග නික්ම භාග්යවතුන් වහන්සේගේ දර්ශනය පිණිස මහාවනයට ඇතුළු වෙති. එකල්හි ඒ ආයුෂ්මත්නට තෙල සිත වීය: මේ ප්රසිද්ධ ප්රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්ර භද්ර යානයන්ගෙන් පෙර - පසුව යන මහ සෙනඟ සමග උස්හඬ මහහඬ ඇත්තාහු භාග්යවතුන් දකිනු සඳහා මහාවනයට වදනාහ. භාග්යවතුන් වහන්සේ විසින් “ධ්යානයෝ ශබ්දකණ්ටකයහ”යි වදාරන ලදී. අපි ගෝසිඞ්ගසාලවනදායට එළැඹමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද අල්පකීර්ණ වූවමෝ පහසුවෙන් වාසය කරම්හ”යි. ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගවනදායට එළඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පකීර්ණ වූවාහු පහසුවෙන් වාසය කරත්.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, චාල කොහි ය? උපචාල කොහි ය? කක්කට කොහි ය? කටිම්බ කොහි ය? කට කොහි ය? කටිස්සඞ්ග කොහි ය? මහණෙනි, ඒ තෙරසව්මහණෝ කොහි ගියාහු දැ?යී.
වහන්ස, මෙහිලා ඒ ආයුෂ්මත්නට තෙල සිත විය: “මේ බොහෝ ප්රසිද්ධ ප්රසිද්ධ බොහෝ ලිච්ඡවීහු භද්ර භද්ර යානයන්ගෙන් පෙර - පසුව යන මහසෙන් සමඟ උස්හඬ ඇතියාහු මහහඬ ඇතියාහු භාග්යවතුන් දැකුම සඳහා මහාවනයට වදනාහ. භාග්යවතුන් වහන්සේ “ධ්යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ. අපි ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹෙමෝ නම් මැනව, එහි අපි අල්පශබ්ද වූවමෝ අල්පකීර්ණ වූවමෝ පහසු සේ වාසය කරම්හ’යි. වහන්ස, ඉක්බිති ඒ ආයුෂ්මත්හු ගෝසිඞ්ගසාලවනදාය කරා එළැඹියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්පශබ්ද වූවාහු අල්පාකීර්ණ වූවාහු සුවසේ වාසය කරත්”යි.
මහණෙනි, මැනැවැ, මැනැවැ. යම් පරිදි ඒ මහසව්වෝ මොනොවට පවසන්නාහු කියත් නම් එසේ මවිසින් “ධ්යානයෝ ශබ්දකණ්ටකයහ”යි කියන ලදහ.
මහණෙනි, මේ කණ්ටක දශයෙක, කවර දශයෙක යත්: ප්රවිවේකයෙහි ඇලුනහුට සඞ්ගණිකාරාමතාව කණ්ටක යි. අශුභනිමිත්තානුයෝගයෙහි යෙදුනට ශුභනිමිත්තානුයෝගය කණ්ටක යි. ඉන්ද්රියයන්හි ගුප්තද්වාරඇතියහුට විසුලුදස්න කණ්ටක යි. බඹසරනුහට මාගමක වෙත හැසිරීම කණ්ටක යි. ප්රථමධ්යානයට ශබ්දය කණ්ටක යි. ද්විතීයධ්යානයට විතර්කවිචාර කණ්ටක යි. තෘතීයධ්යානයට ප්රීතිය කණ්ටක යි. චතුර්ත්ථධ්යානයට ආශ්වාස ප්රශ්වාස කණ්ටක යි. සංඥාවේදයිත නිරෝධසමාපත්තියට සංඥාත් වේදනාත් කණ්ටක යි. රාගය කණ්ටක යි. ද්වේෂය කණ්ටක යි. මෝහය කණ්ටක යි. මහණෙනි, කණ්ටක රහිත වූවාහු වාසය කරවු. මහණෙනි, නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, අකණ්ටක නිෂ්කණ්ටකව වාසය කරවු. මහණෙනි, රහත්හු අකණ්ටකයහ. මහණෙනි, රහත්හු නිෂ්කණ්ටකයහ. මහණෙනි, රහත්හු අකණ්ටක නිෂ්කණ්ටකයහ යි.
10. 2. 3. 3.
ඉට්ඨධම්ම සූත්රය
(සැවැත්)
මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මේ ධර්ම දශදෙනෙක් ලොව්හි දුර්ලභයහ, කවර දශදෙනෙක යත්:
ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්ණය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආරෝග්ය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශීලය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ බ්රහ්මචර්ය්ය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප මිත්රයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප බාහුශ්රැත්යය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ප්රඥාව ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ධර්මයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ස්වර්ගයෝ ලොව්හි දුර්ලභයහ.
මහණෙනි, මෙ දසදහම්හු ඉෂ්ට කාන්ත මනාප වූවාහු ලොව්හි දුර්ලභයහ.