10. 2. 2. 8.
දුතිය නළකපාන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නළකපාන අසළ වූ පලාස වනයෙහි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරනලදහු හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් සංදර්‍ශනය කොට සමාදන් සමුත්තේජනය කොට සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක:
“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධය ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා තොපට දැහැමි කථාව වැටහේ නම් මනා මැ නු. මාගේ පිට රදනැඟෙයි. එය මම සන්හිඳුවමැ”යි. ‘වහන්ස, එසේය’යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණ කොට අතුරා දකුණැළයෙන් වාමපාදයෙහි දකුණුපා මදක් ඇද තබා ස්මෘතිමත් වූවාහු සම්ප්‍රඥාන ඇතියාහු උත්‍ථානසංඥා මෙනෙහි කොට සිංහශය්‍යා කළ සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍යය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ඇවැත්නි. යම් සේ කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද ... ඔතප් නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ප්‍රඥා නැත් ද, - ශ්‍රෝතාවධානය නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ.
ඇවැත්නි, යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, හිරි ඇත් ද ... අපත්‍රපා ඇත් ද, - වීර්‍ය්‍යය ඇත් ද, - ප්‍රඥා ඇත් ද, - ශ්‍රෝතාවධානය ඇත් ද, - ධර්‍මධාරණා ඇත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා ඇත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ඇත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ. ඇවැත්නි, යම් සේ සුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ ඒ නම්, වර්‍ණයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩේ, ආභායෙනුදු වැඩේ, ආරෝහපරිණාහයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යම් කෙනෙකුට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා ඇත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය ඇත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහාණි නො වේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යළි නැගී වදාරා ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක: ශාරීපුත්‍රයෙනි, මැනැවි, ඉතා මැනැවි, ශාරීපුත්‍රයෙනි, යම් කෙනකුන්ට කුශල ධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, හිරි නැත් ද, - ඔතප් නැත් ද, - ප්‍රඥා නැත් ද, - වීර්‍ය්‍ය නැත් ද, - ශ්‍රෝතාවධාන නැත් ද, - ධර්‍මධාරණා නැත් ද, - අර්‍ත්‍ථොපපරීක්‍ෂා නැත් ද, - ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති නැත් ද, - කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ එයි නම්, කුශල ධර්‍මයන්හි හානිය ම කැමැති වියයුතු. වෘද්ධිය නො වේ. ශාරීපුත්‍රයෙනි, කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්බඳු රාත්‍රියක් හෝ දවසෙක් හෝ එයි නම්, වර්‍ණයෙනුදු පිරිහෙයි, මැඩිලියෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරෝහපරිණාහයෙනුදු පිරිහෙයි. ශාරීපුත්‍රයෙනි, එසෙයින් ම යම් කෙනෙකුන්ට කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා නැත් ද, ... කුශල ධර්‍මයන්හි අප්‍රමාදය නැත් ද, ඔහට යම්බඳු රාත්‍රියක් හෝ දවසක් හෝ ඒ නම්, කුශල ධර්‍මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධි නො වේ.