2. යමක වර්‍ගය
10. 2. 2. 1.
අවිද්‍යා සූත්‍රය
[සැවැත්]
“මහණෙනි, මෙයින් පෙර අවිද්‍යා නො වී ය, එයින් පසු පහළ වී යැ” යි අවිද්‍යාවගේ පුරිම කෙළවරෙක් නො පැනේ. මෙසේ තෙල කියනු ලැබේ. වැලිදු අවිද්‍යාව ඉදම්ප්‍රත්‍යයෙනැ යි පැනේ.
මහණෙනි, මම අවිද්‍යාව සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අවිද්‍යාවගේ ආහාර කවරේ ය: පඤ්චනීවරණයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම පඤ්චනීවරණයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. පඤ්චනීවරණයන්ගේ ආහාර කවරේ ය: ත්‍රිවිධ දුශ්චරිතයහයි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ දුශ්චරිතයන් ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ආහාර කවරේ ය: ඉන්‍ද්‍රිය අසංවරය යි කියයුතු වෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය අසංවරයාගේ ආහාර කවරේ ය: අස්මෘති අසම්ප්‍රජන්‍යය යි කියයුතු වෙයි. මහණෙනි, මම අස්මෘති අසම්ප්‍රජන්‍යය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අස්මෘතිය අසම්ප්‍රජන්‍යයාගේ ආහාර කවරේ ය: අයෝනිසෝමනසිකාරය යි කියයුතු වෙයි. මහණෙනි, මම අයෝනිසෝමනසිකාරය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අයෝනිසෝමනසිකාරයාගේ ආහාර කවරේ ය: නො ඇදහිලි බව ය යි කියයුතු වෙයි. මහණෙනි, මම නො ඇදහිලි බව ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. නො ඇදහිලිබව්හුගේ ආහාර කවරේ ය: අසද්ධර්‍මශ්‍රවණ ය යි කියයුතු වෙයි. මහණෙනි, මම අසද්ධර්‍මශ්‍රවණය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. අසද්ධර්‍මශ්‍රවණයාගේ ආහාර කවරේ ය: අසත්පුරුෂ සංසේවා ය යි කියයුතු වෙයි.
මහණෙනි, මෙසේ අසත්පුරුෂසංසේවා පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍මශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො ඇදහිලි බව පුරයි. නො ඇදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිත පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේ පරිපූර්‍ණ භාවය ද වේ.
මහණෙනි, යම් පරිදි ගල් මතුයෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලා යත් ම එ දිය නිම්න තැන් තුබූ සේ වැටෙමින් පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛා පුරාලන්නේ වේද, පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවෝ පරිපූර්‍ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්‍ණ වූවාහු මහ හෙබ් පුරාලත් ද, මහ හෙබ්හු පරිපූර්‍ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහු පරිපූර්‍ණ වූවාහු මහා නදීන් පුරා ලත් ද මහා නදීහු පරිපූර්‍ණ වූවාහු මහාසමුද්‍රය පුරා ලත්ද මෙසේ තෙල මහා සමුද්‍රයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණභාවය වේ.
මහණෙනි, ඒ පරිදි ම අසත්පුරුෂ සංසේවය පරිපූර්‍ණ වූයේ අසද්ධර්‍ම ශ්‍රවණය පුරයි. අසද්ධර්‍මශ්‍රවණය පරිපූර්‍ණ වූයේ නො හැදහිලි බව පුරයි. නො හැදහිලි බව පරිපූර්‍ණ වූයේ අයෝනිසෝමනසිකාරය පුරයි. අයෝනිසෝමනසිකාරය පරිපූර්‍ණ වූයේ අස්මෘති අසම්ප්‍රජන්‍යය පුරයි. අස්මෘති අසම්ප්‍රජන්‍යය පරිපූර්‍ණ වූයේ ඉන්‍ද්‍රිය අසංවරය පුරයි. ඉන්‍ද්‍රිය අසංවරය පරිපූර්‍ණ වූයේ ත්‍රිවිධ දුශ්චරිතයන් පුරයි. ත්‍රිවිධ දුශ්චරිතයෝ පරිපූර්‍ණ වූවාහු පඤ්චනීවරණයන් පුරත්. පඤ්චනීවරණයෝ පරිපූර්‍ණ වූවාහු අවිද්‍යාව පුරත්. මෙසේ තෙල අවිද්‍යාවගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්‍ණ භාවය වෙයි.
මහණෙනි, මම විද්‍යා විමුත්තිය ද සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. විද්‍යා විමුත්තියට ප්‍රත්‍යය කවරේය: සත් වැදෑරුම් මාර්‍ග බෝධ්‍යඞ්ගයහ යි කිය යුතු වෙයි. මහණෙනි, මම සප්ත බෝධ්‍යඞ්ගයන් සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සප්ත බෝධ්‍යඞ්ගයන්ගේ ප්‍රත්‍යය කවරේය: සතර සීවටනයහ යි කියයුතු වෙයි. මහණෙනි, මම සතර සීවටනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. සතර සීවටන්හුගේ ප්‍රත්‍යය කවරේය: ත්‍රිවිධ සුචරිතය යි කියයුතු වෙයි. මහණෙනි, මම ත්‍රිවිධ සුවරිතයනුදු සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ප්‍රත්‍යයෝ කවරහ: ඉන්‍ද්‍රිය සංවරය යි කිය යුතුවෙයි. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි. ඉන්‍ද්‍රිය සංවරයාගේ ප්‍රත්‍යය කවරේ ය: ස්මෘති සම්ප්‍රජන්‍ය ය යි කියයුතු ය. මහණෙනි, මම ස්මෘති සම්ප්‍රජන්‍යය සප්‍රත්‍යය කොට කියමි, නිෂ්ප්‍රත්‍යය කොට නො කියමි.