10. 2. 2. 7.
පඨම නළකපාන සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකා කරනසේක් මහබික්සඟුන් සමග කෝසලයන්ගේ නළකපාන නම් නියම් ගමට වැඩි සේක. එහි භාග්යවතුන් වහන්සේ නළකපානය අසල වූ පලාස වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරන ලද සේක් හුන්නාහු වෙත්. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා සමුත්තේජන සම්ප්රහර්ෂණය කොට තුෂ්ණීම්භූත වූ බික්සඟුන් අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක.
“ශාරීපුත්රයෙනි, භික්ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධ ඇතියේ ය. ශාරීපුත්රයෙනි, භික්ෂූන් සඳහා ධාර්මික කථාව තොපට වැටහේ නම් මනා මැනු. මා පිට රද නැහෙයි. ඒ මම් සන්හිඳු වන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සඟළ සිවුගුණ කොට පනවා දකුණත් පසින් දක්ෂිණපාදයෙහි වාමපාද මඳක් හැද තබා ස්මෘතිමත් වූවාහු සම්යක්ප්රඥා ඇත්තාහු උත්ථානසංඥාව මෙනෙහි කොට සීහශය්යා කළ සේක. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ.
ඇවැත්නි, යම් කිසිවක්හට කුශලධර්මයන් කෙරෙහි හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්ය්යය නැත් ද, කුශල ධර්මයන් කෙරෙහි ප්රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, කුශලධර්මයන් කෙරෙහි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ. ඇවැත්නි, යම් පරිදි කළුවරපස්හි චන්ද්රයාට යම් මැ රැයක් හෝ දාවලක් හෝ ඒ නම්, ඒ වර්ණයෙනුදු පිරිහෙයි මඬුලුයෙනුදු පිරිහෙයි, ආභායෙනුදු පිරිහෙයි, ආරොහපරිණාහයෙනුදු පිරිහෙයි. ඇවැත්නි, එපරිදි ම යමකුහට කුශලධර්මයන්හි ශ්රද්ධා නැත් ද, හිරි නැත් ද, ඔතප් නැත් ද, වීර්ය්යය නැත් ද, කුශලධර්මයන්හි ප්රඥා නැත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම් කුශලධර්මයන්හි හානියෙක් ම කැමැති විය යුතු. වෘද්ධියෙක් නො වේ.
ඇවැත්නි, ‘අශ්රද්ධ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක්, ඇවැත්නි, ‘අහ්රීක පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ඔතප් නැති පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘කුසීත පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘දුෂ්ප්රාඥ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘ක්රොධන පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘බද්ධවෛරී පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපේච්ඡ පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘පාපමිත්ර පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙක, ඇවැත්නි, ‘මිථ්යාදෘෂ්ටික පුරුෂ පුද්ගල’ යන තෙල පරිහාණියෙකි.
ඇවැත්නි, යම් කෙනකුහට කුශලධර්මයන් කෙරෙහි ශ්රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, කුශල ධර්මයන් කෙරෙහි ප්රඥා ඇත් ද, ඔහට යම් මැ රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, කුශලධර්මයන් කෙරෙහි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ. ඇවැත්නි, යම් සේ ශුක්ලපක්ෂයෙහි චන්ද්රයා හට යම් බඳු රැයක් හෝ දවාලක් හෝ ඒ නම්, ඒ වර්ණනයෙනුදු වැඩේ මැ යි, මැඩිලියෙනුදු වැඩෙයි, ආභායෙනුදු වැඩෙයි, ආරොහපරිණාහයෙනුදු වැඩේ. ඇවැත්නි, එසෙයින් ම යමකුහට කුශලධර්මයන්හි ශ්රද්ධා ඇත් ද, හිරි ඇත් ද, ඔතප් ඇත් ද, වීර්ය්යය ඇත් ද, කුශලධර්මයන්හි ප්රඥා ඇත් ද, කුශලධර්මයන්හි වෘද්ධියෙක් ම කැමැති විය යුතු, පරිහාණියෙක් නො වේ.