10. 2. 2. 10.
දුතිය කථාවත්‍ථු සූත්‍රය
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියාහු උවටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි ඇලුණාහු වාසය කරත්. ඒ කවර යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍රකථාය, -පෙ- ඉතිභවාභවකථාය යි.
1. මහණෙනි, මේ ප්‍රශංසාවහ කරුණු දසයෙකි. කවර දසයෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ද අල්පේච්ඡ වෙයි. අල්පේච්ඡ කථාත් භික්‍ෂූන්ට කරන්නේ වේ යයි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
2. තෙමේත් සතුටු වූයේ වෙයි. සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරනුයේත් වෙයි. “මහණ සතුටු වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරන්නේ ය” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
3. තෙමේත් ප්‍රවිවික්ත වෙයි, ප්‍රවිවේකකථා භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “මහණ ප්‍රවිවික්ත වූයේ භික්‍ෂූන්ට ප්‍රවිවේකකථා කරනේ ය”යි තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
4. තෙමේත් අසංසෘෂ්ට වූයේ වෙයි, භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නේත් වෙයි. “මහණ අසංසෘෂ්ට වූයේ භික්‍ෂූන්ට අසංසෘෂ්ට කථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
5. තෙමේත් ආරබ්ධවීර්‍ය්‍ය වෙයි, භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කරන්නේත් වෙයි. “මහණ ආරබ්ධවීර්‍ය්‍ය වූයේ භික්‍ෂූන්ට වීර්‍ය්‍යාරම්භකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
6. තෙමේත් සිල්සපන් වූයේ වෙයි. සීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “සිල්සපන් මහණ භික්‍ෂූන්ට සීලසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
7. තෙමේත් සමාධිසම්පන්නවූයේ වෙයි. භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නේත් වෙයි. “සමාධිසම්පන්න මහණ භික්‍ෂූන්ට සමාධිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
8. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “ප්‍රඥාසම්පන්න මහණ භික්‍ෂූන්ට ප්‍රඥාසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
9. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පදාකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිසම්පදාකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
10. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව භික්‍ෂූන්ට කරන්නේත් වෙයි. “විමුක්තිඥානදර්‍ශනසම්පන්න මහණ භික්‍ෂූන්ට විමුක්තිඥානදර්‍ශනකථාව කරන්නෙක” යන තෙල කරුණ ප්‍රශංසාවහ වේ.
දෙවන යමකවර්‍ගයි.
එහි උද්දානය:
අවිජ්ජා ය, තණ්හා ය, නිට්ඨා ය, අවෙච්චප්පසන්න ය, සුඛ සූත්‍ර දෙක ය, නළකපාන සූත්‍රදෙක ය, කථාවත්‍ථු සූත්‍ර දෙක දැයි දශයෙක.