7. 2. 7.
ඉද්ධිවිධ සූත්‍රය
3139. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදුකොටස් වින්දාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වූහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වූහු ද, පළට බව මුවහ බව (වින්දාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් ගියාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කළාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් ගියාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කළාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් ස්පර්‍ශකලාහු ද, පිරිමැද්දාහු ද, බඹලොව තෙක් දු කයින් වසයෙහි පැවැත් වූහු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
මහණෙනි, මතුත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදු කොටස් විඳින්නාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වන්නාහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වන්නාහු ද, පළට බව මුවහ බව (විඳින්නාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යන්නාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතු වීම කිමිදීම කරන්නාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යන්නාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කරන්නාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහස්නාහු ද පිරිමදනාහු ද, බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වන්නා හු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් විඳිද්ද, එකෙක් ව ද බොහෝ අයුරු වෙද්ද, බොහෝ අයුරු ව ද එකෙක් වෙද්ද, පළට බව මුවහ බව (විඳිද්ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යෙද්ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරෙද්ද, නො බිඳෙන දියෙහිත් පොළොවෙහි මෙන් යෙද්ද. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කෙරෙද්ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහසිද්ද පිරිමදිද්ද, බඹලොව තෙක් දු කයින් වෙසෙහි පවත්වද්ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් වින්දාහු ද ... විඳින්නාහු ද ... විඳිද්ද ... ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 2. 8.
භික්ඛු සූත්‍රය
3140. මහණෙනි, ඉදුපා සතරක් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණතෙමේ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. කවර සතරක් ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 9.
භාවනා සූත්‍රය
3141. මහණෙනි, ඍද්ධිය හා ඍද්ධිපාද හා ඍද්ධිපාදභාවනා හා ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා හා තොපට දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, ඍද්ධි කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කෙරෙයි. එකෙක් ව ද බහු ප්‍රකාර වේ ... බඹලොව හිම් කොට දු කයින් වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධි යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාද කවරෙ යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඍද්ධි ප්‍රතිලාභ පිණිස පවතී ද, මහණෙනි, මේ ඍද්ධිපාද යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනා කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනා යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපත් කවර යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා යයි කියනු ලැබේ යි.