මහා වර්‍ගය
1. මග්ග සංයුත්තය
1. අවිජ්ජා වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
අවිජ්ජා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැති කම සමගම උපදනා අවිද්‍යාව අකුසල් දහම් ඉපැද්මට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයාහට මිථ්‍යාදෘෂ්ටිය උපදී. මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට මිථ්‍යාසඞ්කල්පය උපදී. මිථ්‍යාසඞ්කල්පය ඇත්තහුට මිථ්‍යාවචන උපදී. මිථ්‍යාවචන ඇත්තහුට මිථ්‍යාකර්‍මාන්ත වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තහුට මිථ්‍යාආජීවය වෙයි. මිථ්‍යාආජීව ඇත්තහුට මිථ්‍යාව්‍යායාම වෙයි. මිථ්‍යාව්‍යායාම ඇත්තහුට මිථ්‍යාස්මෘති වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තහුට මිථ්‍යාසමාධි වේ.
මහණෙනි, හිරිඔතප් දෙක සමග ම උපදනා විද්‍යාව කුසල්දහම් ඉපැද්මට පෙරටු වෙයි. විද්‍යාවෙන් යුත් පණ්ඩිතයාහට සම්‍යග්දෘෂ්ටි උපදී. සම්‍යග්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්ප උපදී. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යග්වචන උපදී. සම්‍යග්වචන ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යග්ආජීව වෙයි. සම්‍යක්ආජීව ඇත්තහුට සම්‍යග්ව්‍යායාම වෙයි. සම්‍යග්ව්‍යායාම ඇත්තහුට සම්‍යක්ස්මෘති වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තහුට සම්‍යක්සමාධි වේ.
1. 1. 2.
උපඩ්ඪ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. වහන්ස, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේ ද මෙය බඹසර පිළිබඳ සම අඩෙකැ යි. ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙනසුළු බවෙක් වේද, මෙය මුළුබඹසර යි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කළණයන් කෙරෙහි නැමෙන සුළු මහණ අරිඅටඟිමග වඩන්නේය. අරිඅටඟිමග බහුල කරන්නේ යන මෙය කැමති විය යුතුය.
ආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්‍දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්‍මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
ආනන්‍දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇතිබවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු: ආනන්‍දය, කලණ මිත් වූ මා කරාම පැමිණ උපත ස්වභාව කොට ඇති සත්‍වයෝ උපතින් මිදෙත්, ජරාව ස්වභාව කොට ඇති සත්‍වයෝ ජරායෙන් මිදෙත්,