7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාල වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
7. 1. 1.
අපාර සූත්‍රය
3123. සැවැත්නුවර:
මහණෙනි, මේ සතර ඉද්ධිපාද කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යනු පිණිස පවත්නාහ. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන් සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර වඩනා ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙර යනු පිණිස පවත්නාහ යි.
7. 1. 2.
විරද්ධ සූත්‍රය
3124. මහණෙනි, යම් කෙනකුන් විසින් සිවු ඉදුපා වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම්කිසි කෙනකුන් විසින් සිවු ඉදුපා අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ ය. කවර සතරෙක් ද යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ යි.
7. 1. 3.
අරිය සූත්‍රය
3125. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ ඍද්ධිපාදයෝ සතරදෙන වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒ අනුව පිළිපන්නාහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒ අනුව පිළිපන්නහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවා යි.
7. 1. 4.
නිබ්බිදා සූත්‍රය
3126. මහණෙනි, මේ චතුරිද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී යි.