7. 2. 8.
භික්ඛු සූත්‍රය
3140. මහණෙනි, ඉදුපා සතරක් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණතෙමේ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. කවර සතරක් ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 9.
භාවනා සූත්‍රය
3141. මහණෙනි, ඍද්ධිය හා ඍද්ධිපාද හා ඍද්ධිපාදභාවනා හා ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා හා තොපට දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, ඍද්ධි කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කෙරෙයි. එකෙක් ව ද බහු ප්‍රකාර වේ ... බඹලොව හිම් කොට දු කයින් වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධි යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාද කවරෙ යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඍද්ධි ප්‍රතිලාභ පිණිස පවතී ද, මහණෙනි, මේ ඍද්ධිපාද යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනා කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනා යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපත් කවර යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා යයි කියනු ලැබේ යි.
7. 2. 10.
විභඞ්ග සූත්‍රය
3142. මහණෙනි, මේ සතර ඍද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඍද්ධිපාද මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය ... පච්ඡාපුරේ සඤ්ඤා ඇත්තේ ද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම් සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි පච්ඡා පුරෙසඤ්ඤා ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, ඉතා සැඟවුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් කුසීතබව සහගියේ කුසීතබව සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු ඡන්‍දය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු ඡන්‍ද යයි කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරේසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය”යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.