2. පාසාදකම්පන වර්ගය
7. 2. 1.
හේතු සූත්රය
3133. සැවැත්නුවර:
මහණෙනි, සම්බෝධියෙන් පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුම පිණිස කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ” යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: “මෙහි මහණ තෙමේ ඡන්දය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය යි.
පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
වීර්ය්යය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීර්ය්යය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම් බඳු නම් උඩත් එබඳු ය. උඩ යම් බඳු නම් යටත් එබඳු ය. දහවල් යම් බඳු නම් රෑත් එබඳු ය. රෑ යම් බඳු නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි.
චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩ යි. මෙසේ මාගේ සිත ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩිකොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරයි. එකෙක් ව ද බොහෝ අයුරු වේ. බොහෝ අයුරු ව ද එකෙක් වේ. පළට බව සැඟවුණු බව (විඳියි.) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නො ගැටෙමින් යේ. පොළොවෙහි ද දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරේ. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහි ද යේ. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහි ද පලඟින් යුතු ව ගමන් කෙරේ, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහස්සි. පිරිමදියි. බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්වයි.
check translation here
check translation here
මහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ශුද්ධ වූ මිනිස්බැව් ඉක්ම පැවැති දිව්යමය ශ්රෝත්රධාතුවෙන් දුරවූ ද ළඟ වූ ද මානුෂික දෙසද අසයි. මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි අන්සතුන්ගේ අන්පුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනී. සරාග සිතත් සරාග සිතැ යි දනී. වීතරාග සිතත් වීතරාග සිතැ යි දනී. සදෝස සිතත් සදෝස සිතැ යි දනී. වීතදෝස සිතත් වීතදෝස සිතැ යි දනී. සමෝහ සිතත් සමෝහ සිතැ යි දනී. වීතමෝහ සිතත් වීතමෝහ සිතැ යි දනී. සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිතැ යි දනී. වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිතැ යි දනී. අමහග්ගත සිතත් අමහග්ගත සිතැ යි දනී. මහග්ගත සිතත් මහග්ගත සිතැ යි දනී. සඋත්තර සිතත් සඋත්තර සිතැ යි දනී. අනුත්තර සිතත් අනුත්තර සිතැ යි දනී. අසමාහිත සිතත් අසමාහිත සිතැ යි දනී. සමාහිත සිතත් සමාහිත සිතැ යි දනී. අවිමුත්ත සිතත් අවිමුත්ත සිතැ යි දනී. විමුත්ත සිතත් විමුත්ත සිතැ යි දනී.
මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද නොයෙක් නැසෙන කල්ප ද නොයෙක් වැඩෙන කල්ප ද නොයෙක් නැසෙන වැඩෙන කල්ප ද (සිහි කෙරේ.) අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්යුත ව අසවල්තැන උපන්මි. එහි දු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්යුත ව පැමිණියෙමි යි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ.