7. 2. 4.
මොග්ගල්ලාන සූත්රය
3136. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු වූ නගාගත් මානනළ ඇති පාසිවුරු සැරසීම් ආදි චපල බැවින් යුත් රළුවදන් ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි (-අසංවෘත) ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු මුවරමාපා යටමහලෙහි වෙසෙත්.
එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක: මුගලන, උඩඟු වූ නගාගත් මානනළ ඇති චපල වූ රළුවදන් ඇති දොඩමලු වූ මුළාසිහි ඇති මනානුවණ නැති නොඑකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි ඉඳුරන් ඇති තොපගේ මේ සබ්රම්සරහු මුවරමාපා යටමහලෙහි වෙසෙති. “මුගලන, යවු ඒ මහණුන් සංවේගයට පමුණුවාලව” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා යම්සේ පයමහපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කළෝ ද වැඩියක් කම්පිත කළෝ ද, වෙසෙසින් සැලූහු ද, එබඳු ඍද්ධිවිධියක් කළහ. එකල්හි ඒ භික්ෂූහු සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු භවත්නි, අසිරියි, භවත්නි, පුදුමයි. මේ මුවරමාපාය ඒකාන්තයෙන් වාතාවරණසම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනැවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නො සැලෙනසුලු ය. එතෙකුදු වුව කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි පසෙකට වී සිටියහ.
එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ මහණුන් වෙත එළඹි සේක. එළඹ ඒ මහණුන්ට මේ වදාළ සේක. මහණෙනි, කුමක් හෙයින් තෙපි සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු පසෙකට වී සිටීහු දැ යි. වහන්ස, අසිරි යි. වහන්ස, පුදුම යි. මේ මුවරමාපායත් ඒකාන්තයෙන් වාතාවරණ සම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නොසැලෙනසුලු ය. එතෙකුදු වූවා කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි. මහණෙනි, තොප ම සංවේගයට පමුණුවන කැමැති මුගලන් මහණහු විසින් පයැ මාපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කරන ලද්දේ ය. බෙහෙවින් කම්පිත කරන ලද්දේ ය. වෙසෙසින් සලන ලද්දේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් කෙනෙකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරිය සමාධි ... චිත්ත සමාධි ... වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය” යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී ... කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ ආස්රවක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.