7. 2. 5.
බ්‍රාහ්මණ සූත්‍රය
3137. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීය: “භවත් ආනන්‍දයෙනි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ”යි. බමුණ, තෘෂ්ණාඡන්‍දය පහනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය ප්‍රහාණය පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතෙක් ඇද්දැයි? බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මඟෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය පහනු පිණිස මඟ කවරේ ද? පිළිවෙත කවරේ දැ යි? බමුණ, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මේ මඟ ය, මේ පිළිවෙත යි.
භවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ශාන්ත වූවෙක් ම වෙයි. ශාන්ත නො වූවෙක් නො වෙයි. ඡන්‍දයෙන් ම ඡන්‍දය දුරලන්නේ ය යන මෙකරුණ නැතැ යි. බමුණ, එසේ වී නම් මෙහි ලා තොප ම පිළිවිසින්නෙමි. යම්සේ තොපට රුස්නේ නම් එසේ එය විසඳන්නහු. බමුණ, ඒ කිමැ යි හඟිවු ද? පෙර තොපට අරමට යන්නෙමි යි ඡන්‍දයෙක් වී ය. අරමට ගිය ඒ තොපගේ ඒ පිණිස වූ ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීර්‍ය්‍යයෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි සිතෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීමංසාවක් වූ ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීමංසාවක් වූ නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය.
බමුණ, එසෙයින් ම රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති සහමුලින් ගෙවූ භවසංයෝජන ඇති යම් ඒ මහණෙක් වේ ද, ඔහුට පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් ඡන්‍දයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීර්‍ය්‍යයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් සිතෙක් වී ද රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීමංසාවක් වූ ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීමංසාවක් වී නම් එය සන්හුන්නේ ය. මෙසේ ඇති කල්හි ශාන්ත වූවෙක් හෝ ශාන්ත නො වූවෙක් හෝ වේ දැ යි? භවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ඒකාන්තයෙන් ශාන්ත වූවෙක් වේ. ශාන්ත නො වූවෙක් නො වේ. භවත් ආනන්‍දයෙනි, ඉතා මැනවි ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා) යි.
7. 2. 6.
මහිද්ධික සූත්‍රය
3138. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින්, බහුල කළ බැවින් (එසේ වූහ.) මහණෙනි, මතුත් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ... මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ... දැන් මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ මේ ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.