7. 2. 3.
ඡන්ද සූත්රය
3135. මහණෙනි, ඉදින් මහණ ඡන්දය නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්දසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්රහාණ කරනු පිණිස ඡන්දය උපදවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්රධන්වීර්ය්ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩිකොට ගනී. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන්කුසල් දහම් පැවැත්ම පිණිස අවිනාසය පිණිස බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මොහු පදහන්සංස්කාරයෝය කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්දයත් මේ ඡන්දසමාධියත් මේ ප්රධන්සංස්කාරයොත් වෙද් ද, මහණෙනි, මේ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ වීර්ය්යය නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ වීර්ය්යසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මොහු ප්රධන්සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්ය්යයත් මේ විරියසමාධියත් මේ ප්රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ සිත නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ චිත්තසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන් වීර්ය්යය කෙරෙයි. මොහු ප්රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සිතත් මේ චිත්තසමාධියත් මේ ප්රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ වීමංසාව නිසා සමාධියක් ලබා ද, සිතේ එකඟ බවක් ලබා ද, මේ වීමංසා සමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන් වීර්ය්යය කෙරෙයි. මොහු ප්රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ වීමංසාවත් මේ වීමංසා සමාධියත් මේ ප්රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
7. 2. 4.
මොග්ගල්ලාන සූත්රය
3136. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු වූ නගාගත් මානනළ ඇති පාසිවුරු සැරසීම් ආදි චපල බැවින් යුත් රළුවදන් ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි (-අසංවෘත) ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු මුවරමාපා යටමහලෙහි වෙසෙත්.
එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක: මුගලන, උඩඟු වූ නගාගත් මානනළ ඇති චපල වූ රළුවදන් ඇති දොඩමලු වූ මුළාසිහි ඇති මනානුවණ නැති නොඑකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි ඉඳුරන් ඇති තොපගේ මේ සබ්රම්සරහු මුවරමාපා යටමහලෙහි වෙසෙති. “මුගලන, යවු ඒ මහණුන් සංවේගයට පමුණුවාලව” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා යම්සේ පයමහපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කළෝ ද වැඩියක් කම්පිත කළෝ ද, වෙසෙසින් සැලූහු ද, එබඳු ඍද්ධිවිධියක් කළහ. එකල්හි ඒ භික්ෂූහු සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු භවත්නි, අසිරියි, භවත්නි, පුදුමයි. මේ මුවරමාපාය ඒකාන්තයෙන් වාතාවරණසම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනැවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නො සැලෙනසුලු ය. එතෙකුදු වුව කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි පසෙකට වී සිටියහ.