7. 2. 2.
මහප්ඵල සූත්රය
3134. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලදුයේ බහුල කරන ලදුයේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය සැඟවුණේ නො ද වන්නේ ය, ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
පෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය, දහවල් යම්සේ නම් රැයත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ” ය යි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය,
පෙර යම්බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම්බඳු නම් උඩත් එබඳු ය. උඩ යම්බඳු නම් යටත් එබඳු ය. දහවල් යම්බඳු නම් රෑත් එබඳු ය. රෑ යම්බඳු නම් දහවලුත් එබඳු ය”යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙ යි.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරනලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන්වැදෑරුම් ඉදු කොටස් විඳි යි. එකක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්ව යි ... මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සිවු ආස්රවයන් ක්ෂය කිරීමෙන් අනාස්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
7. 2. 3.
ඡන්ද සූත්රය
3135. මහණෙනි, ඉදින් මහණ ඡන්දය නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්දසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්රහාණ කරනු පිණිස ඡන්දය උපදවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්රධන්වීර්ය්ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩිකොට ගනී. ප්රධන්වීර්ය්ය කෙරෙයි. උපන්කුසල් දහම් පැවැත්ම පිණිස අවිනාසය පිණිස බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මොහු පදහන්සංස්කාරයෝය කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්දයත් මේ ඡන්දසමාධියත් මේ ප්රධන්සංස්කාරයොත් වෙද් ද, මහණෙනි, මේ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් මහණ වීර්ය්යය නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ වීර්ය්යසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්රධන්වීර්ය්ය කෙරෙයි. මොහු ප්රධන්සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්ය්යයත් මේ විරියසමාධියත් මේ ප්රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.