2. 6. 5.
සඞ්ගාරව සූත්රය
601. එකල්හි සඞ්ගාරව බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් සඞ්ගාරව බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැල කළේය. භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නොවැටහේ ද, එයට හේතු කිම? ප්රත්ය කිම? භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර තබා නො හදාළ මන්ත්ර පවා වැටහේ ද, එයට හේතු කිම? ප්රත්ය කිමැ යි.
බමුණ, යම් කලෙක කාමරාගයෙන් මඩනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්ර කැල මැ නො වැටහෙයි. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහ පැහැයෙන් හෝ නිලපැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ මුසු වූයේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක කාමරාගයෙන් මඬනාලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද: උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්ත්ථයත් … එසමයෙහි, උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්ර කැල මැ නො වැටහෙයි.
බමුණ, නැවත අනෙකක් ද කියමි. යම්කලෙක ව්යාපාදයෙන් මඬනා ලද ව්යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ව්යාපාදය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ගින්නෙන් තැවුණේ කැකෑරුණේ හටගත් උණුසුම් ඇත්තේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතු සේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක ව්යාපාදයෙන් මඬනා ලද ව්යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද උපන් ව්යාපාද දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නො වැටහේ.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතු සේ නො දනී ද එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නොවැටහේ. නො හදාළ මන්ත්ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් පණක සෙවෙලින් හාත්පසින් වැසුනේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය. නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නො වැටහෙයි. නො හදාළ මන්ත්ර කියනු ම කීම?
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් සුළගින් කම්පිත වූයේ සැලුණේ බැමුණේ හටගත් රළ ඇත්තේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්ත්ථයත් ... එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නොවැටහේ.
බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ දුරු කිරීමත් ඇතිසැටියෙන් නො දනී ද; එකල්හි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. එකල්හි පරාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. එකල්හි උභයාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නො වැටහේ. නොහදාළ මන්ත්ර කියනුම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් කැලැඹුණේ නොසන්හුන්නේ මඩවූයේ අඳුරෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් නො දන්නේ ය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද, එසමයෙහි ආත්මාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. එසමයෙහි පරාර්ත්ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්ත්ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්ර කියනු කිම? බමුණ, යම්හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්ර තබා හදාළ මන්ත්ර පවා නො වැටහේ නම් එයට මේ හේතුයි, මේ ප්රත්යයයි.