2. බොජ්ඣඞ්ග සංයුත්තය
1. පබ්බත වර්ගය
2. 1. 1.
හිමවන්ත සූත්රය
547. සැවැත්නුවර:
මහණෙනි, හිමවත් පවුරජ නිසා නාගයෝ කය වඩත්, බල ගන්වත්. ඔහු එහි කය වඩා, බල ගන්වා කුඩා හෙබ්වලට බසිති. කුඩා හෙබ්වලට බැස මහ හෙබ්වලට බසිති. මහ හෙබ්වලට බැස කුඩා ගඞගාවලට බසිති. කුඩා ගඞගාවලට බැස මහා ගඞගාවලට බසිති. මහා ගඞගාවලට බැස මහමුහුදට සයුරට බසිති. ඔහු එහි කයින් මහත්ත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි මහත්ත්වයට විපුලත්ත්වයට පැමිණේ.
මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්වයට විපුලත්වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වු විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරැ කළ විරාග ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරැ කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්වයට විපුලත්වයට පැමිණේ යි.
2. 1. 2.
කාය සූත්රය
548. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ ආහාර ප්රත්යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්රත්යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්.
මහණෙනි, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්රත්යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දය බොහෝ වීම පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත් උපන් ව්යාපාදයාගේ බහුල බව විපුල බව පිණිසත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, ප්රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්යාපාදයේ බොහෝ බව පිණිසත් විපුලත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්වය පිණිසත් ප්රත්යය කවරේද යත්: මහණෙනි, (ප්රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්වය පිණිසත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්වයටත් ප්රත්යය කවරේද යත්: මහණෙනි, සිතේ නොසන්හිදුමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්වයටත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාවගේ බොහෝ බවටත් විපුලත්වයටත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, විචිකිච්ඡාවට හිත වු ධර්මයෝ ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත්, උපන් විචිකිච්ජාවේ බොහෝ බවටත් විපුලත්වයටත් මේ ප්රත්යය යි. මහණෙනි, යම්සේ මේ කය ප්රත්යයස්ථිතික වේ ද, ප්රත්යය නිසා පවතිත් ද, ප්රත්යය නැති ව නො පවතිත් ද, මහණෙනි, එසෙයින් ම මේ පඤ්ච නීවරණයෝ ප්රත්යයස්ථිතිකයහ. ප්රත්යය නිසා පවතිත්, ප්රත්යය නැතිව නොපවතිත්.
මහණෙනි, යම්සේ මේ කය ප්රත්යයස්ථිතික වේද, ප්රත්යය නිසා පවතී ද, ප්රත්යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින් ම සප්ත බොජ්ඣඞ්ගයෝ ප්රත්යයස්ථිතිකයහ, ප්රත්යය නිසා පවතිත්, ප්රත්යය නැති ව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්රත්යය කවරේ ද යත්: මහණෙනි, සතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්රත්යයයි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්රත්යය කවරේ ද: මහණෙනි, කුශලාකුශලධර්මයෝ සාවද්යානවද්යධර්මයෝ හීනප්රණීතධර්මයෝ කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්රත්යයයි.