2. 6. 6.
අභය සූත්රය
602. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජිකුළුපව්වෙහි වැඩවසනසේක. එකල්හි අභය රාජකුමාර භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් අභයරාජකුමාර භාග්යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, පුරණකස්සපයෝ මෙසේ කියති: නො දැන්මට නො දැක්මට හේතුවෙක් නැත. ප්රත්යයෙක් නැත. අහේතුක ව අප්රත්යය ව නො දැන්ම නො දැක්ම වේ. දැන්මට දැක්මට හේතුවෙක් නැත. ප්රත්යයෙක් නැත. අහේතුක ව අප්රත්යය ව දැන්ම දැක්ම වේ” යි. මෙහිලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරනසේක් දැ යි ... රාජකුමාරය, නො දැන්මට නො දැක්මට හේතුවෙක් ඇත. ප්රත්යයෙක් ඇත.
සහේතු සප්රත්යය ව නොදැන්ම නොදැක්ම වේ. රාජකුමාරය, දැන්මට දැක්මට හේතුවෙක් ඇත. ප්රත්යයෙක් ඇත. සහේතු සප්රත්යයව දැන්ම දැක්ම වේ” යි. වහන්ස, නොදැන්මට නොදැක්මට හේතුව කවරේ ද? ප්රත්යය කවරේ ද? කෙසේ සහේතු සප්රත්යය ව නො දැන්ම නො දැක්ම වේ දැ යි.
රජකුමර, යම්කලෙක කාමරාගයෙන් මඬනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතු ව වෙසේද; උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්රත්යයෙකි. මෙසේ සහේතු සප්රත්ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්යාපාදයෙන් මඬනා ලද ව්යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ව්යාපාදයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි, මෙ ද ප්රත්යයෙකි. මෙසේත් සහේතුසප්රත්ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඬනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද, නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවෙකි. මෙ ද ප්රත්යයෙකි. මෙසේත් සහේතු සප්රත්යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නො දැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්රත්යයෙකි. මෙසේත් සහේතු සප්රත්යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඬනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මේ ද ප්රත්යයෙකි. මෙසේ සහේතුසප්රත්ය ව නොදැන්ම නොදැක්ම වේ යි.
වහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු නීවරණ නම්හ යි. භාග්යවතුන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. වහන්ස, එක්එක් නීවරණයෙනුදු මඬනා ලද්දේ තතුසේ නො දන්නේය, නො දක්නේය. පඤ්චනීවරණයන්ගෙන් (මඬනා ලද්දේ) කවර කථා ද? වහන්ස, දැන්මට දැක්මට හේතු කවරේ ද? ප්රත්යය කවරේ ද? කෙසේ සහේතුසප්රත්යය වැ දැනීම දැකීම වේ දැ යි.
රජකුමර, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. හේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැකීමට දැනීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්රත්යයෙකි. මෙසේ සහේතු සප්රත්යය ව දැනීම දැකීම වේ ... රජකුමර, නැවත අනෙකක් ද කියමි; මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූසිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැනීමට දැකීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්රත්යයෙකි. මෙසේත් සහේතුසප්රත්යව දැන්ම දැක්ම වේ යි.