6. බොජ්ඣඞ්ග වර්‍ගය
2. 6. 1.
ආහාර සූත්‍රය
597. මහණෙනි, පස්නීවරණයන්ගේ ද සත් බොජ්ඣඞ්ගයන්ගේ ද ආහාරයත් අනාහාරයත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර (-ප්‍රත්‍යය) කිමෙක් ද යත්; මහණෙනි, සුභනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද; නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, (අධිකුශලධර්‍මයන්හි) නො ඇල්මෙක් තෙමරියෙක් මැලිකැඩීමෙක් බත් මතයෙක් සිතේ සැඟැවුණු බවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත්, උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැදීම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සිතේ නො සන්සුන් කමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද: නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත්, උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගයේ ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, කුශලාකුශල ධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීත ධර්‍මයෝ කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්; මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැළිබැවින් නික්මෙනවීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, සමථ නිමිත්තෙක් අව්‍යග්ග නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැදීමටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.