11. 6. 3.
ධම්මදින්න සූත්‍රය
3821. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උවසු තෙමේ පන්සියයක් උවසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ධම්මදින්න උවසු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම්සේ අපට දිගුකලක් මුළුල්ලෙහි හිතසුව පිණිස වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට එසේ අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසන කරන සේක්වා”යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වූ සත් ශුන්‍යතාවන් දක්වන්නා වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ වෙසෙන්නෙමු”යි මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
වහන්ස, දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳුසඳුන් ගල්වන මල්ගඳ විලෙවුන් දරන රන්රිදී ඉවසන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වු ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ මේ විසුම සුකර නො වේ. වහන්ස, පස් සිකපෙදෙහි සිටි ඒ අපට මතු දහමක් දේශනා කරන සේක්වා යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මියයුතු: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වන්නෙමු. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමු”යි. ධම්මදින්න, මෙසේ තොප විසින් හික්මියයුතු යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟක් වදාරන ලද ද ඒ දහම් අප කෙරෙහි ඇත. වහන්ස, අපිත් ඒ දහම් කෙරෙහි දක්නා ලබමු. වහන්ස, අපි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයම්හ. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගතයම්හ”යි. ධම්මදින්න තොපට ලාභයෙකි. ධම්මදින්න, තොපට මනා ලැබුමෙකි. ධම්මදින්න, සෝවන්පල පවසන ලදැ යි.
11. 6. 4.
ගිලාන සූත්‍රය
3822. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති. “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මහානාම ශාක්‍යයෝ ඇසූහ. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මෙය මා විසින් අසන ලදි. “වහන්ස, (පැනැති) සෝවන් උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අවවාද කටයුත්තේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි නො ම අසන ලදි. ඉදිරියෙහි නො ම පිළිගන්නා ලදී යි.