11. 6. 4.
ගිලාන සූත්රය
3822. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත් නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු “නිමවූ සිවුරු ඇති භාග්යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි භාග්යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති. “නිමවූ සිවුරු ඇති භාග්යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මහානාම ශාක්යයෝ ඇසූහ. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, නිමවූ සිවුරු ඇති භාග්යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මෙය මා විසින් අසන ලදි. “වහන්ස, (පැනැති) සෝවන් උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අවවාද කටයුත්තේ ය”යි මෙය භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි නො ම අසන ලදි. ඉදිරියෙහි නො ම පිළිගන්නා ලදී යි.
මහානාම, පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර සිවු දහමෙකින් අස්වැසියයුතු. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි, ධර්මය කෙරෙහි අචලප්රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝ තෙමේ සුප්රතිපන්න ය ... ලෝකයාහට අනුත්තර පුණ්යක්ෂේත්ර ය”යි, සඞ්ඝයා කෙරෙහි අචලප්රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තසිල් ආයුෂ්මත්හට ඇත.
මහානාම පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර මේ සිවු දහමින් අස්වසා “ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්ෂාවක් ඇද්දැ”යි මෙසේ කිවයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මවුපියන් කෙරෙහි අපේක්ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හේ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්ෂාව කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්ෂාව නො කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්ෂා ඇත්නම් එය හරුව”යි. හෙ ඉදින් “මවුපියන් කෙරෙහි මට යම් අපේක්ෂාවක් වූ නම් එය ප්රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්ෂාව ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි අපේක්ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්ෂා කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්ෂාව නො කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්ෂා ඇත් නම් එය හරුව”යි.
ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් වූ නම් එය ප්රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්ෂාවක් ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්ෂාවක් ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මිනිසුන් පිළිබඳ කාමයන්ට වඩා දෙවියන් පිළිබඳ කාමයෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් සිත නඟා සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබව”යි.