6. සප්පඤ්ඤ වර්‍ගය
11. 6. 1.
සගාථක සූත්‍රය
3819. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධය හ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
යමකුට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනැවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලයත් ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇද්ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරනුයේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් දහම දැකීමත් අනුයෝගවශයෙන් පිරිසිදු කරන්නේ යි.
11. 6. 2.
වස්සංවුත්‍ථ සූත්‍රය
3820. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර වස් එළඹියේ කිසියම් කටයුත්තක් පිණිස කිඹුල්වතට පැමිණියේ වෙයි. කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ “සැවැත්නුවර වස් එළැඹි එක්තරා මහණෙක් කිඹුල්වතට පැමිණියේ ය”යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහු වෙත එළඹියහ. එළඹ ඒ මහණහු වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහුට මෙය කීහ:
වහන්ස, “කිම භාග්‍යවතුන් වහන්සේ නීරෝගත් බලවතුත් වනසේක් දැ”යි? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග ද බලවද්ද වන සේකැ යි. වහන්ස, “කිම සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නීරෝගත් බලවතුත් වෙද්දැ”යි? ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේත් නීරෝග ද බලවද් ද වෙති යි. වහන්ස, “කිම බික් සඟන නීරෝගත් බලවතුත් වේ දැ”යි? ඇවැත්නි, බික්සඟනත් නීරෝග ද බලවද්ද වේ යි. වහන්ස, “මේ ඇතුළුවස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද ඉදිරියෙහි පිළිගන්නා ලද කිසිවක් ඇද්දැ”යි? ඇවැත්නි මා විසින් මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී (කිමෙක් ද යත්:)
“මහණෙනි, යම් මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවෝ එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෝ වෙත් නම් ඔහු ම ඉතා බොහෝහ”යි.
ඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී. (එනම්): මහණෙනි, යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික ව එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නොඑනසුලු වෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් මොහු ම ඉතා බොහෝහ”යි.
ඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද. ඉදිරියෙහි පිළිගන්නා ලදි (කිමෙක යත්): “මහණෙනි, යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් ඔහු අල්පය හ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවාහු නම් මොහු ම ඉතා බොහෝහ යි.
11. 6. 3.
ධම්මදින්න සූත්‍රය
3821. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උවසු තෙමේ පන්සියයක් උවසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ධම්මදින්න උවසු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම්සේ අපට දිගුකලක් මුළුල්ලෙහි හිතසුව පිණිස වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට එසේ අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසන කරන සේක්වා”යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වූ සත් ශුන්‍යතාවන් දක්වන්නා වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ වෙසෙන්නෙමු”යි මෙසේ තොප විසින් හික්මිය යුතු යි.