11. සෝතාපත්ති සංයුත්තය
1. වේළුද්වාර වර්‍ගය
11. 1. 1.
රාජ සූත්‍රය
3769. සැවැත්නුවර:
මහණෙනි, සක්විති රජ සිවුදිවයිනෙහි ඉසුරු බැවින්යුත් අධිපති බව ඇති රජය කරවා කාබුන් මරණින් මතු සුගති සගලොව තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද, හෙතෙමේ එහි නඳුනුයනෙහි අසරසුමුයෙන් පිරිවරන ලදු ව දිව්‍යමය වූ පස්කම්ගුණෙන් යුතු ව සමන්‍විත ව ඉඳුරන් පිණවා ද එහෙත් හෙතෙමේ සිවු දහමින් නොයුතු ය. (එහෙයින්) හෙතෙමේ නිරයෙන් නො මිදුනේ ම ය. තිරිසන් යෝනියෙන් නොමිදුනේ ම ය. ප්‍රේතවිෂයෙන් නො මිදුනේ ම ය. අපායදුග්ගවිනිපාතයෙන් නො මිදුනේ ම ය. මහණෙනි, අරීසවුතෙමේ පිඬුසිඟීමෙන් යැපේ ද, කඩමාලු දරා ද (එහෙත්) හෙතෙමේ සිව් දහමින් යුතු ය. එහෙයින් හෙතෙමේ නිරයෙන් මිදුනේ ය. තිරිසන් යෝනියෙන් මිදුනේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුග්ගවිනිපාතයෙන් මිදුනේ ය.
කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “මෙකරුණෙනු දු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් හ. සම්‍යක්සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ. සුගත හ. ලෝකවිදූ හ. අනුත්තරපුරුෂදම්‍ය සාරථී හ. දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. සාන්දෘෂ්ටික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය”යි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේද (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය. පාහුනෙය්‍ය ය. දක්ඛිණෙය්‍ය ය. අඤ්ජලිකරණීය ය. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වේ. අඛණ්ඩ අච්ඡිද්‍ර අසබල අකල්මාෂ භුජිෂ්‍ය විඥප්‍රශස්ත අපරාමෘෂ්ට සමාධිසංවර්‍තනික ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සිවුදහමින් යුතු වූයේ වෙයි.
මහණෙනි, යම් සිවුදිවයින් පිළිලැබුමෙක් වේ ද, යම් සිවුදහම් පිළි ලැබුමෙකුත් වේ ද සිවුදිවයින් පිළිලැබුම සිවුදහම් පිළිලැබුමෙහි සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගී යී.
11. 1. 2.
බ්‍රහ්මචරියෝගධ සූත්‍රය
3770. මහණෙනි, සිවුදහමින් යුතු අරීසවුතෙමේ විවස ව නොවැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු”යි. ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්නය ... ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි නො කඩවූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු වූ අරීසවු තෙමේ විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක.
බුදුරජානන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යකාන්තශීලයත් සංඝයා කෙරෙහි පැහැදීමත් ධර්‍මයෙහි පැහැදීමත් යම් කෙනෙකුන්ට වෙත් නම් ඔහු බඹසරට ඇතුළත් (මතු තුන්මග හා යෙදුනු) සුවයට සුදුසු කල්හි ඒකාන්තයෙන් පැමිණෙති යි.
11. 1. 3.
දීඝාවුඋපාසක සූත්‍රය
3771. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි දීඝාවු උවසු තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි දීඝාවු උවසු තෙමේ පියා වන ජෝතික ගැහැවිහු ඇමැතී ය. ගැහැවි එවු. තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙවු. එළඹ මා වදනින් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳිවු. “වහන්ස, දීඝාවු උපාසක හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීඝා වු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්නම් මැනැවැ යි මෙසේ ත් කියා”යි.