2. 2. 9.
පඤ්චකඞ්ග සූත්රය
267. එකල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කී ය: “වහන්ස, උදායි තෙරණුවනි, කෙතෙක් වේදනාවෝ භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු දැ?” යි.
ගැහැවිය, භාග්යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ගැහැවිය, මේ වේදනා තුන භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
මෙසේ කී කල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කීය: “වහන්ස, උදායි තෙරණුවනි, භාග්යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නො වදාරන ලද, සුව වේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවෙක් වේ නම් මෙය ශාන්ත වූ ප්රණීත වූ සුවයෙහි ලා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
දෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ‘ගැහැවිය භාග්යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නො වදාරන ලදි. වේදනා තුනක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සුව වේදනා ය දුක් වේදනා ය නොදුක් නො සුව වේදනා’යි. මේ වේදනා තුන භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැයි.
දෙවන්වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුනට මෙය කීය: “වහන්ස, උදායී තෙරණුවනි, භාග්යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි, සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්රණීත වූ සුවයෙහි ලා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ”යි.
තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ගැහැවිය භාග්යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොම වදාරන ලදි. භාග්යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය මැදහත්වේදනා යි. මේ වේදනා තුන භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
තෙවන වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය: වහන්ස, උදායී තෙරණුවනි, භාග්යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නො දුක් මැදහත් වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්රණීත වූ සුවයෙහි ලා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවනට හඟවන්නට නොම හැකි වූහ. පඤ්චකඞ්ගවඩුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නො ද හැකි විය.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ වූ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ කථාසල්ලාපය යම්තාක් වී ද, ඒ සියල්ල භාග්යවතුන් වහන්සේට සැලකළහ.
ආනන්ද, පඤ්චකඞ්ගවඩුවා උදායි මහණහුගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්ද, උදායි මහණ ද පඤ්චකඞ්ගවඩුවාගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්ද, මා විසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදී. මා විසින් නයවශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදී.
ආනන්ද, මෙසේ මා විසින් දහම් නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්ද, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම් ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාසිතය සුලපිතය එක්ව නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් “හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැත්වලින් විදගනිමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතුයි.
ආනන්ද, මෙසේ මා විසින් ධර්මය නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්ද, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් “සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්රියඇසින් බලමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතු ය.
ආනන්ද, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මන වඩන ප්රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ ය ... කනින් දතයුතු සදහු ය ... නැහැයෙන් දත යුතු ගඳහු ය ... දිවෙන් දතයුතු රස ය. ඉටු කැමති මන වඩන ප්රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය යි. ආනන්ද, මොහු පස්කම් ගුණයෝ ය. ආනන්ද, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කම්සුවය යි කියනු ලැබේ. ආනන්ද, යම් කෙනෙක් “පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති”යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත.