සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
1. අනිච්ච වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1. 1.
අජ්ඣත්තානිච්ච සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, ඇස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම වෙයි. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කන අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
නැහැය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු යි.
දිව අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත් ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මනස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. (හේ) කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් (සසරින්) විමුක්ත වෙයි. විමුක්ත වත් මැ ‘විමුක්ත’ යැ යන ඥානය උදාවෙයි, උත්පත්තිය ක්‍ෂීණ වියැ. බඹසර වැසැ නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බව පිණිස කළයුතු අනෙක් කිසෙක් නැතැ යි නුවණින් දනියි.
1. 1. 2.
අජ්ඣත්තදුක්ඛ සූත්‍රය
2. සැවැත්නුවර–
මහණෙනි, ඇස දුක් වෙයි, යමෙක් දුක්වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
කන දුක් ය, … නැහැය දුක් ය, … දිව දුක් ය … කය දුක් ය … සිත දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනී යි.