2. රහෝගත වර්‍ගය
2. 2. 1.
රහෝගත සූත්‍රය
259. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.
මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්‍ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.
එතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්‍ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
වැලිදු මහණ, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ වේ. පළමුවන දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වේ. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්සිඳුනේ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හිඳුනේ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්සිඳුනේ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්සිඳුනේ වේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්සිඳුනාහු වෙත්. රහත් මහණහුට රාගය සන්සිඳුනේ වේ. දෝසය සන්හිඳුනේ වේ. මෝහය සන්හිඳුනේ වේ.
මහණ, මේ සන්හිඳුම් සයෙකි. පළමුදැහැනට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. දෙවනදැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 2.
ආකාස සූත්‍රය
260. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් සුළං හමා ද, පෙරදිග සුළං ද හමයි. පැළදිග සුළං ද හමයි. උතුරුදිග සුළං ද හමයි. දකුණුදිග සුළං ද හමයි. දූලි සහිත සුළං ද හමයි. දූලි රහිත සුළං ද හමයි. සිහිල් සුළං ද හමයි. උණුසුම් සුළං ද හමයි. මඳ සුළං ද හමයි. අධික සුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුව වේදනාත් උපදිත්. දුක්වේදනා උපදිත්. මැදහත් වේදනා උපදිත්.
යම්සේ අහසෙහි නන්වැදෑරුම් වූ බොහෝ සුළං හමා ද පෙරදිගින් හමන්නා වූ ද පැළදිගින් හමන්නා වූ ද උතුරුදිගින් හමන්නා වූ ද යළි දකුණු දිගින් හමන්නා වූ ද,
දූලි සහිත වූ ද දූලි රහිත වූ ද සිසිල් වූ ද උණුසුම් වූ ද ඇතැම් දිනෙක අධික වූ ද මද වූ ද බොහෝ සුළං හමයි.
එසෙයින් ම කයෙහි සුවදුක් උපදවන්නා වූ ද මැදහත් වූ ද යම් වේදනාවක් වේ නම් ඒ වේදනාවෝ උපදිත්.
මහණ, යම් කලෙක කෙලෙස් තවන වෙර ඇත්තේ මනා දැනීම නො හරී ද, එකල්හි පණ්ඩිත වූ හෙතෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ දහම්හි පිහිටියේ නිවනට පැමිණියේ කාබුන් මරණින් මතු (සත්ත්‍ව) සඞ්ඛ්‍යාවට නො පැමිණේ යි.