2. වේදනා සංයුත්තය
1. සගාථා වර්‍ගය
1. 20. 1.
සමාධි සූත්‍රය
249. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ වේදනා තුන යි.
සමාධිගත වූ මනා නුවණැති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවත් දනී. වේදනාවන්ගේ සමුදයයත් දනී. මේ වේදනාවෝ යම් තැනෙක නිරුද්ධ වෙත් ද ඒ නිවනත් ඒ වේදනා නැසීමට යන මගත් (දනී) මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය වීමෙන් තුෂ්ණා නැත්තේ පිරිනිවියේ යි.
1. 20. 2.
සුඛ සූත්‍රය
250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, වේදනා තුන යි.
සුව වූ ද ඉදින් දුක් වූ ද නොදුක්නොසුව වූ ද තමා කෙරෙහි වූ ද පිටත්හි වූ ද, යම්කිසි වේදනාවක් වේ නම්නැ සේන සුලු බිඳෙන සුලු මෙය දුක යයි දැන නුවණින් පැහැස පැහැස වැය දක්නේ මෙසේ එහි නො ඇලේ යි.
1. 20. 3.
පහාන සූත්‍රය
250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි. මහණෙනි, යම් කලෙක මහණහට සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වූයේ වේ ද නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද මහණෙනි, පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මැනවින් මනාවබෝධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.
වේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.
මහප්‍රාඥතථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.
යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ මනා නුවණ නො හරී ද එහෙයින් ඒ පණ්ඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හෙතෙමේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් (මරණින් මතු) පැනවීමකට නො පැමිණේ.
1. 20. 4.
පාතාල සූත්‍රය
252. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ මහමුහුදෙහි පාතාලයෙක් ඇති යි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ නැති නො පෙනෙන (තැනක් ගැන) මහමුහුදෙහි පාතාලයෙක් ඇතැ යි මෙසේ මේ වචනය කියයි. මහණෙනි, පාතාල යන මෙය ශරීරයෙහි හටගන්නා දුක්වේදනාවන්ට නමෙකි. මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ ශරීරයෙහි හටගත් දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙහි. ක්ලාන්ත වෙයි. හඬයි ලෙහි පහරමින් හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ පාතාලයෙහි නො පිහිටියේ ය. පිහිට ද නො ලැබුවේ යයි කියනු ලැබේ. මහණෙනි, උගත් අරීසවු තෙමේ ශරීරයෙහි හටගත් දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නොකෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො හඬයි. ලෙහි පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක පාතාලයෙහි පිහිටියේ ය. පිහිටි ද ලැබුයේ යි කියනු ලැබේ.
යමෙක් යමකින් පහස්නා ලද්දේ සැලේ ද ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා නො ඉවසා ද.
දුබල වූ නුවණ ඇති මඳ වූ ඥානශක්ති ඇති හෙතෙමේ හඬයි වැලපෙයි. පාතාලයෙහි නො පිහිටයි යළි පිහිටකුදු නො ලැබුයේ ය.
යමෙක් යමකින් පහස්නා ලද්දේ නො සැලේ ද, ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා ඉවසා ද, හෙතෙමේ පාතාලයෙහි පිහිටයි. යළි පිහිට ද ලැබුයේ යි.