2. 2. 10.
භික්ඛු සූත්රය
268. මහණෙනි, මවිසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදි.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම දේශනා කරන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා කරන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව සැත්වලින් පෙළමින් වෙසෙන්නාහු ය යි මෙය කැමති වියයුතු යි.
මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම් දෙසන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්රිය ඇසින් බලමින් වෙසෙන්නාහ’යි මෙය කැමති වියයුතු යි.
මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ය ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මේ කම්සුවය යි කියනු ලැබේ. මහණෙනි, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’ යි මෙසේ කියන්නාහු නම්, ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණි වූත් අන් සුවය යි.
මහණෙනි, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
මහණෙනි, යම් හෙයෙකින් අන්තොටු පිරිවැජියෝ “මහණ ගොයුම්හු සඤ්ඤාවේදයිතනිරෝධයක් කියති, එය සුව ය යි ද පනවයි. ඒ කිමෙක් ද? ඒ කෙසේ දැ?” යි. මෙසේ කියන්නාහු නම්, මේ කරුණ ඇත. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ සුවවේදනාව සඳහා සුවය යි නො පනවන සේක. ඇවැත්නි, යම් යම් තැනෙක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුවය යි පනවන සේකැ යි.
දෙවැනි රහොගතවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
රහෝගත සූත්ර ය, ආකාශසූත්ර දෙක ය, අගාරසූත්ර ය, සන්තකසූත්ර දෙක ය, අට්ඨක සූත්ර දෙක ය, පඤ්චකඞ්ගසූත්ර ය, භික්ඛුසූත්ර ය යි සූත්ර දශයෙකි.