2. 2. 8.
දුතිය අට්ඨක සූත්‍රය
266. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මහණෙනි, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනා නිරෝධගාමිනීපටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාදය කිමෙක් ද? ආදීනවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වෙදනාසමුදය වේ, ... (පළමු සුතුර යම් සේ නම් එසේ විස්තර කටයුතු යි.)
2. 2. 9.
පඤ්චකඞ්ග සූත්‍රය
267. එකල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කී ය: “වහන්ස, උදායි තෙරණුවනි, කෙතෙක් වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු දැ?” යි.
ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ගැහැවිය, මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
මෙසේ කී කල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කීය: “වහන්ස, උදායි තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නො වදාරන ලද, සුව වේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවෙක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
දෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ‘ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නො වදාරන ලදි. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සුව වේදනා ය දුක් වේදනා ය නොදුක් නො සුව වේදනා’යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැයි.
දෙවන්වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුනට මෙය කීය: “වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි, සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ”යි.
තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොම වදාරන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය මැදහත්වේදනා යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
තෙවන වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය: වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නො දුක් මැදහත් වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවනට හඟවන්නට නොම හැකි වූහ. පඤ්චකඞ්ගවඩුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නො ද හැකි විය.