2. 2. 7.
අට්ඨක සූත්රය
265. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ‘වේදනාව කවරී ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාද කිමෙක් ද? ආදීනව කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්දරාගය දුරුලීමෙක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වෙයි ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
වැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය, පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
මහණෙනි, මේ සන්හිඳුම් සයෙකි. ‘පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතක්කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්රීතිය සන්හුන්නී වෙයි, සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්රශ්වාස සන්හුන්නේ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 8.
දුතිය අට්ඨක සූත්රය
266. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: මහණෙනි, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනා නිරෝධගාමිනීපටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාදය කිමෙක් ද? ආදීනවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වෙදනාසමුදය වේ, ... (පළමු සුතුර යම් සේ නම් එසේ විස්තර කටයුතු යි.)