3. 5. 8.
නගරවින්දෙය්ය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් කොසොල්රට නගරවින්ද නම් බමුණුගමට වැඩිසේක. නගරවින්දයෙහි වැසි බමුණු ගැහැවියෝ මේ ඇසූහ: ‘ශාක්ය පුත්ර වූ ශාක්ය කුලයෙන් නික්මැ පැවිදි වූ ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් නගරවින්දයට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කල්යාණ කීර්තිශබ්දය උස් වැ නැඟිණ: ඒ භාග්යවතුන් වහන්සේ මෙසේ අර්හත් වූහ. සම්යක්සම්බුද්ධයහ. අෂ්ටවිද්යා පසළොස්චරණයෙන් සමන්විතයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්යසාරථිහ. දෙවි මිනිස්නට ශාස්තෘ වූහ. බුද්ධයහ. භාග්යවත්හ’ යි. ඒ භාග්යවත්හු සදේවක සමාරක සබ්රහ්මක වූ ශ්රමණබ්රාහ්මණයන් සහිත ප්රජාව ඇති දෙවිමිනිසුන් සහිත මේ ලෝකය තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කරන සේක. ඒ භාග්යවතුන් වහන්සේ ආදී කල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසාන කල්යාණ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ කේවලපරිපූර්ණ වූ ධර්මය දෙසන සේක. පරිශුද්ධ වූ මාර්ගබ්රහ්මචර්ය්ය ප්රකාශ කරන සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම මනා මැ නු’ යි.
ඉක්බිති නගරවින්දයෙහි වැසි බමුණුගැහැවියෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කිසි කෙනෙක් භාග්යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ දෙසට පිණිපා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් නගරවින්දයෙහි වැසි බමුණුගැහැවියනට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ඉදින් ගැහැවියෙනි, අන්තොටු පිරිවැජියෝ තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ගැහැවියෙනි, කෙබඳු පියවි ඇති මහණ බමුණෝ සත්කාර නො කටයුත්තාහු ද ගරුකාර නො කට යුත්තාහු ද බුහුමන් නො කටයුත්තාහු ද නො පිදියයුත්තාහු දැ? යි”, ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්රකාශ කරන්නහු යැ: ‘යම් මහණබමුණු කෙනෙක් චක්ෂුර්විඥේය රූපයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිත් ඇති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු චක්ෂුර්විඥේය රූපයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ, තමා තුළ නො සන්හුන් සිතැතියම්හ. කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙම්හ. මතුයෙහි අන්යචර්ය්යාවක් නො දක්නා අපට තෙල සමචර්ය්යා මැ වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙත්.
යම් ඒ මහණ බමුණු කෙනෙක් ශ්රෝත්රවිඥේය වූ ශබ්දයෙහි … ඝ්රාණවිඥේය වූ ගන්ධයෙහි ... ජිහ්වාවිඥේය වූ රසයෙහි ... කායවිඥේය වූ ස්ප්රෂ්ටව්යයෙහි ... මනෝවිඥේය වූ ධර්මයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිතැති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු මනෝවිඥේය වූ ධර්මයෙහි නො පැහූ රාග ඇතියම්හ. නො පැහූ ද්වේෂ ඇතියම්හ. නො පැහූ මෝහ ඇතියම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්ය්යා කරම්හ. මතුයෙහි අන්යචර්ය්යා නො දක්නා අපට තෙල සමචර්ය්යා ද වියහෙයි. එයින් ඒ භවත් මහණබමුණෝ සත්කාර නො කළයුතු වෙති, ගරුකාර නො කළ යුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙති’ යි. මෙසේ පුළුවුස්නාලද ගැහැවි වූ තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියවු.
ඉදින් ගැහැවියෙනි, අන් තොටු පිරිවැජියෝ ‘ගැහැවියෙනි, කෙබඳු මහණ බමුණෝ සත්කාරාර්හ වෙත් ද ගරුකාර්හ වෙත් ද මානනාර්හ වෙත් ද පූජනාර්හ වෙත් දැ?’ යි. තොප මෙසේ පුළුවුස්නාහු නම් ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව. යම් මහණ බමුණු කෙනෙක් චක්ෂුර්විඥේය රූපාලම්බනයෙහි පැහූ රාග ඇති වෙත් ද පැහූ ද්වේෂ ඇති වෙත් ද පැහූ මෝහ ඇති වෙත් ද තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද කයින් වචසින් මනසින් සමචර්ය්යා කෙරෙත් ද මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්හ වෙති, ගරුකාර්හ වෙති, මානනාර්හ වෙති, පූජනාර්හ වෙති. ඒ කවර හෙයින යත්: අපි වනාහි චක්ෂුර් විඥේය රූපාලම්බනයෙහි නො පැහූ රාග ඇතියම්හ, නො පැහූ ද්වේෂ ඇතියම්හ, නො පැහූ මෝහ ඇතියම්හ, තමා තුළ නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්ය්යා කරම්හ. මතුයෙහි අන්යචර්ය්යා දක්නා අපට තෙල සමචර්ය්යා ද විය හෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්හ වෙති, ගරුකාර්හ වෙති, මානනාර්හ වෙති, පූජනාර්හ වෙති. යම් මහණ බමුණු කෙනෙක් ශ්රෝත්රවිඥේය ශබ්දාලම්බනයෙහි ... ඝ්රාණවිඥේය ගන්ධාලම්බනයෙහි ... ජිහ්වාවිඥේය රසාලම්බනයෙහි ... කායවිඥේය ස්ප්රෂ්ටව්යාලම්බනයෙහි ... මනෝවිඥේය ධර්මයෙහි වීතරාග වෙත් ද වීතද්වේෂ වෙත් ද වීතමෝහ වෙත් ද, තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද, කයින් වචසින් මනසින් සමචර්ය්යා කෙරෙත් ද, මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්හ වෙති, ගරුකාර්හ වෙති, මානනාර්හ වෙති, පූජනාර්හ වෙත්, ඒ කවර හෙයින යත්: අපි වනාහි මනෝවිඥේය ධර්මයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්ය්යා කරම්හ. මතුයෙහි අන්යචර්ය්යා දක්නා අපට තෙල සමචර්ය්යා ද වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්හ වෙති, ගරුකාර්හ වෙති, මානනාර්හ වෙති, පූජනාර්හ වෙත්’ යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව.