සූත්‍රාන්තපිටකයෙහි
මැඳුම්සඟිය
මූලපණ්ණාසකය
1. මූලපරියාය වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. 1.
මූලපරියාය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි” භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂුහු “ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
2. මහණෙනි, තොපට සියලු සත්කායධර්‍මයනට මූලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
(1)
3. මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
4. ආපය ආපය වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
5. තේජස තේජෝවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. තේජස තේජෝවශයෙන් හැඳින තේජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තේජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තේජසින් බැහැර වෙමි” යි හඟියි. “තේජස මාගේ” යි හඟියි. තේජස අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: තේජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
6. වායුව වායුවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ” යි හඟියි. වායුව අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්‍වයන්) භූතයන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්:
දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
9. ප්‍රජාපතීහු (මාරයා) ප්‍රජාපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජාපතීහු ප්‍රජාපතීහු වශයෙන් හැඳින ප්‍රජාපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජාපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජාපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජාපතියා මගේ” යි හඟියි. ප්‍රජාපතීහු අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්:
ප්‍රජාපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්:
බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.