3. 5. 9.
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැඟීසිටියාහු භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල වදාළසේක:
ශාරිපුත්‍රය, තොපගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ, සිවිපැහැ පරිශුද්ධ යැ, පර්‍ය්‍යවදාත යි. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි කවර විහරණයෙකින් යුක්ත වැ බහුල කොට වාස කරවු දැ? යි.
‘වහන්ස, මෙකල්හි මම් ශුන්‍යතාවිහරණයෙන් යුක්ත වැ බහුල කොට වෙසෙමි’ යි.
සාධු සාධු ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි මහාපුරුෂවිහරණයෙන් බහුල කොට වාස කරවු. ශාරිපුත්‍රය, යම් ශුන්‍යතායෙක් ඇද්ද, තෙල මහාපුරුෂවිහරණයෙක. ශාරිපුත්‍රය, එහෙයින් මෙහිලා ඉදින් මහණ මෙකල්හි ශුන්‍යතාවිහරණයෙන් බහුල කොට වසන්නෙමි’ යි කැමැති වේ නම් ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: ‘මම් යම් මගෙකින් ගමින් පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬුවායෙන් පෙරළා ආයෙම් ද, එහි මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශයෙක් වේවයි ඇත්තේ දෝ හො’යි.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දනී ද ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි ඇතැ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
තවද ශාරිපුත්‍රය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ නැතැ’ යි මෙසේ දනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයෙහි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, අනෙකෙකි: මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු සිඟා ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය රසයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ ඇද්ද? යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ: ‘යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥෙය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් වේවයි ඇතැ’ යි මෙසේ දනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් මඟෙකින් මම ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිත පිළිබඳ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි නැතැ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු යි.
තවද ශාරිපුත්‍රය, අනෙකක් කියමි. මහණහු විසින් ‘මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූවාහු දැ’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චකාමගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ පඤ්චනීවරණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ (මාගේ සන්තානයෙහි) පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු දැ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපරිඥාතයහ’ යි මෙසේ දැනගනීද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පරිඥානය පිණිස වෑයම් කටයුතුයැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලදහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.