උපරිපණ්ණාසකය
1. දේවදහ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
3. 1. 1.
දේවදහ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි සැහැකුල රජදරුවන්ගේ දෙව්දහ නම් නියම්ගම ඇසිරි කොටගෙන (ලුම්බිනී උයන්හි) වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යී මහණුන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති කිසි මහණබමුණු කෙනෙක් ඇත. “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව (කර්‍මායූහන නො වනු) වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය (කර්‍ම ගෙවීයනු) වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේය”යි. මහණෙනි, නුවටහු මෙවන් වාද ඇතියහ.
මහණෙනි, මෙසේ වාද ඇති නුවටුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි නිගණ්ඨයෙනි, මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නො දුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේ, ය”යි. තෙපි මෙවන් වාද ඇතියහු ල, මෙවන් දෘෂ්ටි ඇතියහු ල, යනු සැබෑ වේ දැ? යි පුළුවුස්මි.
මහණෙනි, ඉදින් මා විසින් මෙසෙයින් පුළුවුස්නාලද ඒ නුවටහු ‘එසේ යැ’යි පිළින කෙරෙද්ද, මම උනට මෙසේ කියමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිම තෙපි ‘ඇපි පෙරැ වූමෝ මැ යැ, නොවූමෝ නො වම්හ”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ, නොකළමෝ නො වම්හ”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ”යි දන්නාව?
ඇවැත්නි, මෙය නොදනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙතෙක් දුක් දිරිණ හෝ මෙතෙක් දුක් දිරැවිය යුතු යැ හෝ මෙතෙක් දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” හෝ දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “දුටුදැමියෙහි මැ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් (රැස් කිරීම්) වෙති”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ වත් මැ තෙපි “ඇපි පෙරැ වූමෝ මැ යැ නොවූමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ නො කළමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ” යනුදු නො දන්නහු යැ, මෙතෙක් හෝ දුක් දිරිණ මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙති”යි මෙ ද නො දන්නහු යැ. “ඉහාත්මයෙහි මැ අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් වෙති”යි මෙ ද නො දන්නහු යැ. මෙසේ මෙතෙක් කරුණු නො දන්නා කලැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳිනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙන් වෙයි. මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තපසින් විගතාන්ත කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍ම රැස්කිරීමෙක් නො වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීම් හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” ප්‍රකාශ කරන්නට යුතු නො වේ.
ඇවැත් නිගණ්ඨයෙනි, ඉදින් තෙපි “පෙර ඇපි වූමෝ මැ’යැ, නොවූමෝ නො වම්හ” යි දන්නවු නම්, ‘ඇපි පෙර පව් කම් කළමෝ මැ යැ, නො කළමෝ නොවම්හ’යි දන්නවු නම් මෙවන් මෙවන් හෝ පව්කම් කළම්හ’යි දන්නවු නම්: මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත, මෙතෙක් හෝ දුක් දිරුණු කල හැම දුක් නිර්ජිර්‍ණ වෙතී’ දන්නවු නම්, ඉහාත්මයෙහි මැ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය හා කුශල ධර්‍මයන්ගේ උපසම්පත් දන්නවු නම්, මෙසේ වත් මැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂ පුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙනැ, මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙනුදු නවකර්‍මයන් නො කිරීමෙනුදු මතුයෙහි කර්‍ම රැස් නො කරනු වෙයි, මතුයෙහි අනවස්‍රවයෙන් (කර්‍ම රැස් නො කිරීමෙන්) කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” පවසන්නට යුතු වන්නේ ය.