3. 5. 7.
මහාසළායතනික සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, තොපට මහාෂඩායතන පර්‍ය්‍යාය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි.
‘වහන්ස, එසේ යැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහු, භාග්‍යවතුන් වහන්සේ තෙල මහාෂඩායතනපර්‍ය්‍යාය වදාළෝ.
මහණෙනි, චක්‍ෂුස ඇති සැටි මාර්‍ගඥානයෙන් නො දන්මින් නො දක්මින් රූපයන් ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුර්විඥානය ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුස්සංස්පර්‍ශය ඇති සැටි නො දන්මින් නො දක්මින් සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුස්සංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුසෙහි සංරාග කෙරෙයි, රූපයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුර්විඥානයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශය සංරාග කෙරෙයි, සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එහිදු ඇලේ.
සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද දක්මින් විහරණ කරණ ඔහුගේ මතු පඤ්චඋපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දන කරන තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුගේ කායදරථයෝ ද වැඩෙති, චෛතසිකරථයෝ ද වැඩෙති. කායික සන්තාපයෝ ද වැඩෙති, චෛතසිකසන්තාපයෝ ද වැඩෙති. කායිකපරිදාහයෝ ද වැඩෙති. චෛතසිකයෝ ද වැඩෙත්. හෙ කායදුඃඛය විඳුනේ යැ.
මහණෙනි, ශ්‍රෝත්‍රය මාර්‍ගඥානයෙන් ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ඝ්‍රාණය ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ජිහ්වාව ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, කය ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, මනස ඇති සැටි නො දන්මින් නො දක්මින් ධර්‍මයන් යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝවිඥානය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත ව නො දන්මින් නො දක්මින් මනසෙහි රාග විසින් ඇලෙයි, ධර්‍මයන්හි ඇලෙයි, මනෝ විඥානයෙහි ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි ඇලෙයි, මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු රාග විසින් ඇලේ.
සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද වශයෙන් දක්මින් වෙසෙන ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දනා කරණ තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, මනෝද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද වැඩෙති, මනෝද්වාරික සන්තාපයෝ ද වැඩෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද වැඩෙති, මනෝද්වාරික පරිදාහයෝ ද වැඩෙත්. හෙ පඤ්චද්වාරික දුඃඛය ද මනෝද්වාරික දුඃඛය ද විඳී.
මහණෙනි, චක්‍ෂුස යථාභූත වැ දන්මින් දක්මින් රූපයන් යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුර් විඥානය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුසෙහි නො ඇලෙයි. රූපයන්හි නො ඇලෙයි. චක්‍ෂුර්විඥානයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්සයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.
අසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනව දක්මින් වාස කරණ ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය ඇති කරන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්. හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.
එබඳු වූවහුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහුගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, ඒ ව්‍යායාමය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ස්මෘතිය ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, ඒ සමාධිය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඒ මහණහුගේ කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වේ. මෙසේ ඒ මහණහට මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.
මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඒ මහණහට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්චේන්‍ද්‍රියෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද භාවනායෙන් පිරීමට යෙත්.
ඔහුට ශමථය ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ පවත්නාහ. හෙතෙම යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් දුරු කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් වඩයි, යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙත් ද යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට පිළිතුරු කියයුතු වෙයි. ඒ මෙසේ යැ. රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙත්.