3. 5. 6.
ඡ ඡක්ක සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල ඡඡක්ක දේශනා වදාළහ:
මහණෙනි, තොපට ආදිකල්යාණ වූ මධ්යකල්යාණ වූ පර්ය්යවසානකල්යාණ වූ සාර්ත්ථ වූ සව්යඤ්ජන වූ කේවලපරිපූර්ණ වූ ධර්මයක් දෙසමි. පරිශුද්ධ බ්රහ්මචර්ය්ය ප්රකාශ කරමි. ඒ කිමෙක යත්: ‘ඡඡක්ක’ ධර්ම යි. ඒ අසව, මොනවට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’ යි භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු.
සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්ශකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි.
‘සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහයි’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: චක්ෂුරායතන යැ ශ්රෝතායතන යැ ඝ්රාණායතන යැ ජිහ්වායතන යැ කායායතන යැ මනායතන යි. ‘සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය, තෙල ආයතන පිණිස කියනලදි. මේ පළමු වන ෂට්ක යි.
‘සවැදෑරුම් බාහිරායතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: රූපායතන යැ ශබ්දායතන යැ ගන්ධායතන යැ රසායතන යැ ස්ප්රෂ්ටව්යායතන යැ ධර්මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ආයතන පිණිස කියනලදි. මේ දෙවන ෂට්ක යි.
‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ. කන ද ශබ්දායතන ද නිසා ශ්රෝතවිඥානය උපදනේ යැ. නැහැය ද ගන්ධායතන ද නිසා ඝ්රාණවිඥාන උපදනේ යැ. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. කය ද ස්ප්රෂ්ටව්යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. සිත ද ධර්මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල කාය පිණිස කියන ලදි. මේ තුන් වන ෂට්ක යි.
‘සවැදෑරුම් ස්පර්ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. කන ද ශබ්දායතන ද නිසා ශ්රෝතවිඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. නැහැය ද ගන්ධායතන ද නිසා ඝ්රාණවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. කය ද ස්ප්රෂ්ටව්යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. සිත ද ධර්මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. ‘සවැදෑරුම් ස්පර්ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ස්පර්ශ පිණිස කියනලදි. මේ සතර වන ෂට්ක යි.
‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. ස්පර්ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. කන ද ශබ්දායතන ද නිසා ශ්රෝතවිඥානය උපදනේ යැ. ... නැහැය ද ගන්ධායතන ද නිසා ඝ්රාණවිඥාන උපදනේ යැ. ... දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්රෂ්ටව්යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... සිත ද ධර්මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. ස්පර්ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. ‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල වේදනා පිණිස කියනලදි. මේ පස් වන ෂට්ක යි.
‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: ඇස ද රූපායතන ද නිසා චක්ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. ස්පර්ශ ප්රත්යයෙන් වේදනා වෙයි. වේදනා ප්රත්යයෙන් තෘෂ්ණා වෙයි. ශ්රෝත්රය ද ශබ්දායතන ද නිසා ශ්රෝතවිඥානය උපදනේ යැ. ... ඝ්රාණය ද ගන්ධායතන ද නිසා ඝ්රාණවිඥාන උපදනේ යැ. ... ජිහ්වාව ද නිසා රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්රෂ්ටව්යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... මනස ද නිසා ධර්මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්ශ නමි. ස්පර්ශ ප්රත්යයෙන් වේදනා වෙයි. වේදනා ප්රත්යයෙන් තෘෂ්ණා වෙයි. ‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල සඳහා කියනලදි. මේ සවන ෂට්ක යි.
‘චක්ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා ද එය නො යෙදෙයි. චක්ෂුස්හුගේ උත්පාදය ද විනාශය ද පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නිරුද්ධ වන්නේත් වේ ය’යි ඔහුට මෙසේ (ලබ්ධි) ආයේ වෙයි. එහෙයින් ‘චක්ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්ෂුස අනාත්ම වෙයි.
‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ඒ නො යෙදෙයි. රූපායතනයාගේ උත්පාදයත් ව්යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙනුයේත් වේ ය’යි ඔහුට මෙසේ ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්ෂුස අනාත්ම වෙයි. රූපායතනය අනාත්ම වෙයි.