3. 5. 5.
චූළරාහුලෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. රාහුලයන්ගේ විමුක්තිය මිහිකිරීමට හිත වූ ධර්‍මයෝ පැසී සිටියහ. මම රාහුලයන් මතු ආස්‍රවක්‍ෂයයෙහි ලා විනයන කෙරෙම් නම් මැනැවැයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙවැ පාසිවුරු ගෙන් සැවතට පිඬු පිණිස වැඩියෝ, සැවැත පිඬු පිණිස හැසිර පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක. රාහුලය, හිඳිනාකඩ ගනුව, දිවාවිහරණ සඳහා අන්‍ධවනය කරා යම්හ’ යි.
‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් රාහුල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හිඳිනාකඩ ගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස් ලුහුබැඳ ගියහ.
එසමයෙහි අනේක දේවතාසහස්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දාහු වෙති. ‘අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරණුවන් මතු ආස්‍රවක්‍ෂය ඥානයෙහි ලා විනයන කෙරෙති’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට බැසගෙන එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුල භද්‍රයන් බණවා තෙල වදාළසේක:
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි එය සමනුපස්සනා වශයෙන් ගන්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්‍යයහ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් ගන්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යි.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? ශ්‍රෝත්‍රය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
මනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.