3. 5. 4.
නන්දකොවාද සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කෙරෙති. එකල ගොයුම්ගොත් මහාප්රජාපතී මෙහෙණ පන්සියක් පමණ මෙහෙණන් හා සමග භාග්යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටි ගොයුම්ගොත් මහාප්රජාපතී මෙහෙණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළා: ‘වහන්ස, භාග්යවතුන් වහන්සේ මෙහෙණනට ඕවා දෙනසේක්වා, වහන්ස භාග්යවතුන් වහන්සේ මෙහෙණනට අනුශාසනා කරනසේක්වා. වහන්ස, භාග්යවතුන් වහන්සේ මෙහෙණනට ධර්ම කථා කරන සේක්වා’ යි.
එසමයෙහි ස්ථවිර භික්ෂූහු මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙති. ආයුෂ්මත් නන්දක තෙරණුවෝ මෙහෙණනට, වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැති වෙති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමැතූසේක: ‘ආනන්දය, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට අද කවරහුගේ වාරය වේ දැ?’ යි.
වහන්ස, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නන්දක තෙරණුවනට වාරය වෙයි. වහන්ස, මේ ආයුෂ්මත් නන්දක තෙරණුවෝ මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැතියහ.
එසඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක තෙරණුවන් ඇමතූසේක: ‘නන්දකය, මෙහෙණනට ඔවා දෙව. නන්දකය, මෙහෙණනට අනුශාසනා කරව. බ්රාහ්මණය, තෝ මෙහෙණනට ධර්මකථා කරව’ යි.
‘වහන්ස, එසේ යැ’ යි ඒ ආයුෂ්මත් නන්දක තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු තමහට දෙවැන්නකු ඇති වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ මෙහෙණහු දුර දී මැ ආයුෂ්මත් නන්දක තෙරණුවන් එනුවන් දුටහ. දැක අසුන් පැන්වූහු. පා දෝනා දිය එළවූහු. ආයුෂ්මත් නන්දක තෙරණුවෝ පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ පාද ප්රක්ෂාලනා කොළෝ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්දක තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් මෙහෙණනට ආයුෂ්මත් නන්දක තෙරණුවෝ තෙල කීහ: බුහුනැණියෙනි, පිළිවිස කරන කථායෙක් ඇත. එහි දී වටහා දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියයුතු වෙයි. වටහා නො දන්නවුන් විසින් ‘නො දනුම්හ’ යි කියයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහි දී මම් මැ පිළිවිස්ස යුතුයෙම් වෙමි. (කෙසේ යැ?) ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්ත්ථ කවරේ යැ?’ යි.
වහන්ස, ඇපි මෙතෙකිනුදු ආර්ය්ය වූ නන්දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. අභිරද්ධයම්හ. යම් හෙයෙකින් ආර්ය්ය වූ නන්දක තෙරණුවෝ අප පවරත් ද, එහෙයිනි.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්ෂුස නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්ය දුඃඛ විපරිණාමධර්ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්රෝතය නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ ...
ඝ්රාණය නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ ...
ජිහ්වා නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ ...
කය නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ ...
මනස නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්ය යැ ...
යමෙක් අනිත්ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්ය දුඃඛ විපරිණාමධර්ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල කරුණ පළමු මැ අප විසින් ඇති තතු සම්යක් ප්රඥායෙන්, මොනොවට දක්නා ලදි: ‘මෙ කරුණිනුදු මේ අධ්යාත්මික ෂඩායතනයෝ අනිත්යයහ’ කියා ය.
මැනව මැනව බුහුනැණියෙනි. බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්යක් ප්රඥායෙන් දක්නා ආර්ය්යශ්රාවකයක් හට තෙල සිත් මෙසේ වේ මැ යි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්යයහ.
යමෙක් අනිත්ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්ය දුඃඛ විපරිණාමධර්ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශබ්දායතනයෝ නිත්ය හෝ අනිත්ය හෝ වේ ද?
වහන්ස, අනිත්යයහ ...