3. 5. 3.
පුණ්ණෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැංගාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ:
වහන්ස, ‘මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු සංක්‍ෂිප්ත අවවාදයෙකින් අවවාද කරනසේක්වා’ යි අයැදසිටුම්හ’යි.
‘එසේ වී නම් පුණ්ණය, අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ’ යි වදාළහ.
‘වහන්ස, එසේ යැ’ යි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවීමට නිසි චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ රූපායතන අභිනන්‍දන කෙරේ ද, සිතින් ගෙන තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටී ද, ඒ රූපායතන අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඒ මහණහට තෘෂ්ණාව උපදී. තෘෂ්ණා සමුදය හේතුයෙන් පුණ්ණය, දුඃඛසමුදය වේ යයි කියම්හ.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින්, මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන කෙරේ ද, තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටුනේ වේ ද, එය අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. තෘෂ්ණාසමුදය හේතුයෙන් දුඃඛසමුදය වේ යයි කියම්හ.
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනාර්‍හ වූ චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණෙ රූපායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා විසින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ රූපායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඒ මහණහට තෘෂ්ණා නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා හෙයින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඔහුගේ තෘෂ්ණා නිරුද්ධ වෙයි, තෘෂ්ණා නිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
පුණ්ණය, මා විසින් මේ සංක්‍ෂිප්ත වූ අවවාදයෙන් අවවාද කරන ලද තෝ කිනම් දනවියෙක වාස කෙරෙහි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් මම ඔවා දෙනලදිමි. සුනාපරන්ත නම් දනවියෙක් ඇත, එහි මම වාස කෙරෙමි.
පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු චණ්ඩයහ. පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු පරුෂයහ. පුණ්ණය, ඉදින් සුනාපරන්ත දනවුවැසි මිනිස්හු තට ආක්‍රෝශ කෙරෙත් නම්, නින්‍දා බස් බෙණෙ නම් පුණ්ණය, එහිලා තට කෙබඳු සිතෙක් වේ යැ?
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට ආක්‍රෝශ කෙරෙත් නම් නින්‍දා බෙණෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට අතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි, සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙතියි සැල කොළෝ.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු අතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය තට කෙසේ සිත් වේ යැ? යි.
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට අතින් පහර දෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට කැටින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තට කැටින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු මට කැටින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට දඬින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට සැතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය, තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් තියුණු සැතින් මා දිවියෙන් තොර නො කෙරෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.