3. 5. 2.
ඡන්නෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ආබාධික වැ දුඃඛිත වැ දැඩිගිලන් වූවාහු වෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි සමවතින් නැගීසිටියාහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් කරා එළඹ ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි චුන්‍දයෙනි, යම්හ ආයුෂ්මත් ඡන්නතෙරුන් කරා ගිලන් බව පුළුවුස්නමෝ එළඹෙම්හ. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ඡන්න තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ඡන්න තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු වූ සිහි කළයුතු වූ කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරණුවනට තෙල කීහ: කිම ඇවත් ඡන්නයෙනි, තොප විසින් සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම තොපගේ දුඃඛවේදනාවෝ බැසයෙත් ද? නැඟ නො යෙත් ද? බැසුම් පැනේ ද? නැඟුම් නො පැනේ දැ? යි.
ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සැහිය හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම පැනේ, බැස්ම නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු යහුලින් මුදුන මඩනේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, මාගේ මුදුන අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් පෙළත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබානින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිස අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් සිඳිති. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නොයෙත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වල පුරුෂයකු වෙන වෙන අත් ගෙන අඞ්ගාරකර්ෂුයෙක ලා තවත් ද, තර කොට තවත් ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ කයෙහි අධිමාත්‍ර දාහයෙක. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවා ලමි. ජීවිතය නො කැමැත්තෙමි.
ආයුෂ්මත් ඡන්න තෙමේ ශස්ත්‍රාහරණ නො කෙරේවා, ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි ආයුෂ්මත් ඡන්න තෙරුන් යැපෙන්නවුන් කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජනයෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජන සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය නැත් නම් මම ආයුෂ්මත් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නිසි උපස්ථායකයෙක් නො වේ නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන් උවටන් කෙරෙමි. ආයුෂ්මත් ඡන්න තෙරුන් ශස්ත්‍රාහරණ නො කෙරේවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි යැපෙන ආයුෂ්මත් ඡන්නයන් කැමැත්තම්හ’ යි.
ඇවත් ශාරිපුත්‍රයෙනි, මට සත්ප්‍රායභෝජනයෝ නැත්තාහු නො වෙති. මට සත්ප්‍රායභෛෂජ්‍යයෝ නැත්තාහු නො වෙති. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු නො වෙත්. වැළිදු ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ, අමනාපගතීන් නො වෙයි. ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, අමනාපගති තබා මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යම් කරුණෙක් වේ ද, තෙල කරුණ ශ්‍රාවකයක්හට නිසි වෙයි. ඡන්න භික්‍ෂු අනුපදව්‍ය (අප්‍රතිසන්‍ධික) කොට ශස්ත්‍රාහරණ කෙරේ යයි මෙසේ ඇවත් සැරියුත් තෙරණුවෙනි, තෙල කරුණ ධරන්නේ මැනැව.
ඉදින් ආයුෂ්මත් ඡන්නයෝ ප්‍රශ්නව්‍යාකරණ සඳහා අවකාශකෙරෙත් නම් අපි ආයුෂ්මත් ඡන්නයන් අතින් කිසි දෙසක් පුළුවුසුම්හ. ඇවත් සැරියුත් තෙරණුවෙනි, පුළුවුස්නේ මැනැව, අසා දනුම්හ’ යි.
ඇවත් ඡන්නයෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මය’ යි නුවණින් දක්නෙහි ද? ඇවත් ඡන්නයෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් ඡන්නයෙනි, කාය කායවිඥාන ... ඇවත් ඡන්නයෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි. තෙලෙ මාගේ ආත්ම යයි නුවණින් දක්නෙහි දැ’ යි.
ඇවත් සැරියුත් තෙරණුවෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි. ඇවත් සැරියුත් තෙරණුවෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, කාය කායවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි.