3. 3. 9.
බාලපණ්ඩිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහු ගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.
මහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්‍ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලු ද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලු ද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ය, නපුරු බස් බණනසුලු ද වේ ය, නපුරු කම් කරනසුලු ද වේ ය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.
මහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේ ය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේ ද, වීථියෙක වේව’යි හුන්නේ වේ ද, සතරමංසන්‍ධියෙක වේව’යි හුන්නේ වේ ද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේ ද, අයිනාදන් ගන්නාසුලු වේ ද, කාමයෙහි මිසහසර ඇති වේ ද, මුසවා බණනසුලු වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි ලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.
තවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත් ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අත ද සිඳනුවන් පය ද සිඳිනුවන් අත්පා ද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධ ද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරනුවන් රාහුමුඛ නම් වධ ද කරනුවන් ජෝතිමාලික නම් වධ ද කරනුවන් හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරනුවන් එරකවත්තික නම් වධ ද කරනුවන් චීරකවාසික නම් වධ ද කරනුවන් එණෙය්‍යක නම් වධ ද කරනුවන් බලිසමංසික නම් වධ ද කරනුවන් කහාපණක නම් වධ ද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධ ද කරනුවන් පලිඝපරිවත්තික නම් වධ ද කරනුවන් පලාලපීඨක නම් වධ ද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බඳු පාපකර්‍ම හේතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී
සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත් ද, කසයෙනුදු තළත් ද, වේවැලිනුදු තලත් ද අඩදඬියෙනුදු තළත් ද, අතද සිඳිත් ද, පය ද සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කන ද සිඳිත් ද, නැහැය ද සිඳිත් ද, කන්නැහැ ද සිඳිත් ද, බිලඞ්ගථාලිකවධ ද කෙරෙත් ද, ශඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත් ද, රාහුමුඛවධ ද කෙරෙත් ද, ජෝතිමාලිකවධ ද කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික වධ ද කෙරෙත් ද, එරකවත්තිකවධ ද කෙරෙත් ද, චීරකවාසිකවධ ද කෙරෙත් ද, එණෙය්‍යකවධ ද කෙරෙත් ද, බලිසමංසිකවධ ද කෙරෙත් ද, කහාපණකවධ ද කෙරෙත් ද, ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත් ද, පලිඝපරිවත්තිකවධ ද කෙරෙත් ද, පලාලපිට්ඨිකවධ ද කෙරෙත් ද, රත්තෙලිනුදු ඉසිත් ද, ශුනකයන් ලවා කවත් ද, දිවස්හුලෙහි හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, එබඳු පාපධර්‍මයෝ මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහු ය. කසයෙනුදු තළන්නාහු ය, වේවැලිනුදු තළන්නාහු ය, අඩදඬියෙනුදු තළන්නාහු ය, අත ද සිඳින්නාහු ය, පය ද සිඳින්නාහු ය, අත්පා ද සිඳින්නාහු ය, කන ද සිඳින්නාහු ය, නැහැය ද සිඳින්නාහු ය, කන්නැහැ ද සිඳින්නාහු ය, බිලඞ්ගථාලික නම් වධ ද කරන්නාහු ය, ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරන්නාහු ය, රාහුමුඛ නම් වධ ද කරන්නාහු ය, ජෝතිමාලික නම් වධ ද කරන්නාහු ය, හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරන්නාහු ය, එරකවත්තික නම් වධ ද කරන්නාහු ය, චීරකවාසික නම් වධ ද කරන්නාහු ය, එණෙය්‍යක නම් වධ ද කරන්නාහු ය, බලිසමංසික නම් වධ ද කරන්නාහු ය, කහාපණක නම් වධ ද කරන්නාහු ය, බාරාපතච්ඡික නම් වධ ද කරන්නාහු ය, පලිඝපරිවත්තික නම් වධ ද කරන්නාහු ය, රත්වූ තෙලිනුදු ඉස්නාහු ය, ශුනකයන් ලවා ද කවන්නාහු ය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහු ය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියා යි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.
යළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේ ව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිත වූ වාග්දුශ්චරිත වූ මනෝදුශ්චරිත වූ යම් ලාමක කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්‍වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේ ද, එපරිදි මැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිත වූ හෝ වාග්දුශ්චරිත වූ හෝ මනෝදුශ්චරිත වූ හෝ යම් පූර්‍ව පාපකර්‍ම කෙනෙක් ඇද්ද එකල්හි එ කර්‍මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යණයෙක් නො කරන ලද මැ ය, කුශලයෙක් නො කරන ලද මැ ය, බියට පිහිටෙක් නො කරන ලද මැ ය, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කම් නොකළ කුසල් නො කළ බියට පිහිට නො කළ පව් කළ කැකුළුකම් කළ කිලුටුකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ එ ගතියට යෙමි’යි කියා යි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ තුන්වන දුක්දොම්නස ද විඳුනේ වෙයි.